ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පහසු සහ කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ .
ඒ අනුව ව්‍යාපාර නාම ලියාපදිංචිය දින පහක් වැනි කෙටි කාලයකදී සිදුකිරීමේ අරමුණින් සරල හා ඒකාබද්ධ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ (BNR) නියමු ව්‍යාපෘතිය ඊයේ (10) අනුරාධපුරයේදී ආරම්භ කර තිබෙනවා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, Chrysalis ආයතනය සහ පළාත් සභාවල සහයෝගයෙන් ක්‍රියාත්මක වන බව වාර්තා වේ .
1918 වසරේ සිට පැවත එන පැරණි ලියාපදිංචි ක්‍රමවේදය යටතේ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ ලේඛන සහ විවිධ ආයතනවල අනුමැතීන් ලබාගැනීම ඇතුළු සංකීර්ණ අවශ්‍යතා පැවත් වුණා.
නව ක්‍රමවේදය යටතේ ව්‍යාපාර නාම ලියාපදිංචිය සහ වෙනත් නීතිමය බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය වෙන්කර ඇති අතර, මූලික අනන්‍යතා සහ පදිංචි තොරතුරු මත පදනම්ව ලියාපදිංචි කටයුතු සිදුකිරීමට අවස්ථාව සැලසෙයි.
මෙහි ආරම්භක අදියර ලෙස මධ්‍යම, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ක් ආවරණය කරමින් මාස තුනක නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය .