හිරුණිකාගේ අභියාචනය විභාගයට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරයි .

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නියම කර ඇති සිරදඬුවම අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනය විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඇත .

ඇය විසින් ගොනුකළ අභියාචනය සම්බන්ධයෙන් බෙදුන තීන්දුවක් ලැබීම හේතුවෙන් එහි ඉදිරි කටයුතු තීරණය කිරීම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත නඩුව යොමුකරනා ලදි .

ඒ අනුව අද (11) සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී එය විභාග කිරීම සඳහා නව විනිසුරු මඩුල්ලක් නම් කර ඇති බව සඳහන්.

රොහාන්ත අබේසූරිය, පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරුවරුන් එම මඩුල්ලට ඇතුළත් වන අතර, අභියාචනය ලබන ජනවාරි 21 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.

2015 දෙසැම්බර් 21 වැනිදා තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස රඳවා තබා පහරදීම ඇතුළු චෝදනාවලට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් ඇයට බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවමක් සහ දඩයක් නියම කරන ලද අතර ඇය ඊට එරෙහිව අභියාචනාවක් ගොනුකරනා ලදි