ගෑස් මිල වෙනස් නොවේ .

නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන තුනක් වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් ආයතනයට හැකියාව ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි විකුණුම්, අලෙවි සහ ආයතනික සබඳතා අධ්‍යක්ෂ ජනක පතිරත්න පැවසුවේ, සියලුම වාණිජ පාරිභෝගිකයන්ට අවශ්‍ය ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම මඟින් සමස්ත ගෑස් අවශ්‍යතාවය සපුරාලීමට හැකි වන බවයි.

සාමාන්‍යයෙන් මසකට ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 32,000ක් සහ තරගකාරී සමාගමට මෙට්‍රික් ටොන් 6,000ක් ලෙස සමස්ත අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 38,000ක් පමණ වන බවත්, වර්තමාන ගෑස් අවශ්‍යතාව සැලකිල්ලට ගෙන නොවැම්බර් මාසය සඳහා මෙට්‍රික් ටොන් 44,000ක් Geo Gas (ජියෝ ගෑස්) ආයතනය හරහා ඇණවුම් කර ඒවා තහවුරු කර ඇති බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම, ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් ‘Goodwill’ (ගුඩ්විල්) නෞකාව මේ වන විට ගොඩබෑම් කටයුතු සිදු කරමින් පවතින බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් ‘Quarantine’ (කොරන්ටයින්) නෞකාව අද (01) දින දිවයිනට ළඟා වීමට නියමිත බව ද මෙහිදී ඔහු කියා සිටියේය.

මේ හරහා අද (31) පස්වරුව වන විට කොළඹ ප්‍රදේශය සඳහා සාමාන්‍ය පරිදි ගෑස් බෙදාහැරීම සිදු වන අතර, අනෙකුත් ප්‍රදේශ සඳහා හෙට (01) දිනයේදී එම කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද සඳහන්. කෙසේ වෙතත් වෙලඳපොළ ආරංචිමාර්ග පවසනුයේ සතිකිහිපයක සිට වෙලඳ පොලේ පවතින ගෑස් හිඟය තව දුරටත් එලෙසම පවතින බවය .