කාවන්තිස්ස මරුණාද … මැරුවාද . .

පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ විශාල අවධානයක් දිනාසිටි කාවන්තිස්ස ඇතා අද පස්වරුවේ මියගොස් ඇති බව වාර්තා වේ . මෙරට සිටින විශාලතම සහ උසම වල් අලියා ලෙස ප්‍රකට කාවන්තිස්ස වෙඩි පහරකින් ලද තුවාල සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී සියඹලන්ගමුව ප්‍රදේශයෙදී මියගොස් ඇතිබව වාර්තා වේ .

වෙඩි වැදීමකින් ලද තුවාල හේතුවෙන් බරපතල තත්ත්වයේ පසු වූ කාවන්තිස්ස ඇතාට සති කිහිපයකට පෙර (සැප්තැම්බර් 26 ) සිට වනජීවී පශුවෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ආරම්භකර තිබුනි . එකී ප්‍රතිකාර හමුවේ වෙඩි වැදීමෙන් වූ තුවාලය සුව වෙමින් පවතින බව ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසන ලදි . කෙසේ වෙතත් ප්‍රතිකාර ලබාදීම දවස් කිහිපයකට ඇනහිටි බවත් එහෙයින් ඇතාගේ තත්ත්වය නැවතත් උත්සන්න ඌ බවත් ප්‍රදේශවාසීහු පවසති .

මීට දින කිහිපයකට පෙර කාවන්තිස්සට ප්‍රතිකාර කිරීමට බාරගත් අනුරාධපුර දිසාව බාර වනජීවී පශුවෛද්‍ය චන්දන ජයසිංහ පැවසූවේ ඇතා දරුණු පාචන තත්ත්වයෙන් පෙලෙනා බවයි . එම අවස්ථාවේ පරීක්ෂණ සඳහා අසූචි සාම්පල ලබගණීමට උත්සහ කළද එය අසාර්තක වූ බවත්, නිරීක්ෂණ සහ උපකල්පන මත ප්‍රතිකාර අඛණ්ඩව සිදුකරනාබව ඔහු මාධ්‍ය හමුවකදී සඳහන් කළේය .

පාදයේ තුවාලය යම්තාක් දුරට සුව වී ඇතිබවත්, පාචන තත්ත්වය සමග කාවන්තිස්ස ඇතා ආහාර ගැණීම නතර කර දැමූවද දිනකට පමණ පෙර සිට නැවතත් ආහාර ගැනීම අරම්භ කළ බවට වාර්තා පලවිය .

මීට දෙදිනකට පමන පෙර කාවන්තිස්ස ඇතා ජලාශයකට බැස සිටිනා ඡායාරූපයක් සමාජ මාධ්‍යහී පලවූ අතර කාවන්තිස්ස ඇතාට යම් විශක් ශරීර ගතව ඇතිබවත්, ඌ ජලයට බැස සිටින්නේ ඒ හේතුවෙන් බවත් තවත් පාර්ශව පවසන්නට විය . ඒ අතරම මුල් අදියරේදී කාවන්තිස්ස ඇතාට ලබාදුන් ප්‍රතිකාරවලදී ප්‍රතිජීවක අධිමාත්‍රාවෙන් ලබාදීම මෙම මරණයට හේතුව වන්නට ඇතිබවට සමාජ මධ්‍යහී අදහස් දක්වන පාර්ශව පවසයි .

ඒ අනුව මේ පිළිබඳ වඩි විස්තර දැනගැනීම සඳහා මුල් අවස්තාවේ කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කළ වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ ගත්තද එය සාර්ථක නොවීය. මෙම ඇතාගෙ මරණයට හේතුව වනජිවී දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල බවත් වනජීවී පශු වෛද්‍ය ප්‍රතිකාර නිසි වේලාවේ ආරම්භ නොකළ බවත් සමාජ පරිසර වේදීන් ඇතුළු කණ්ඩායම් පෙන්වා දෙති .

එමෙන්ම වනජීවී විෂය බාර අමාත්‍ය ධම්මික පටබැඳි වගකීම බාර ගෙන ඉල්ලා අස්විය යුතුබව සමාජ මාධ්‍ය පරිශීලකයෝ බහුතරයක් පවසති . එමෙන්ම මේ පිළිබඳව විදෙස් විශේෂඥයන්ගේ සහයෙන් මධ්‍යස්ථ මරණ පරීක්ෂනයක් පවත්වන ලෙසද ඕවුහු ඉල්ලා සිටිති. අද පෙරවරුවේ සියඹලන්ගමුව ප්‍රදේශයේදී ඇද වැටි සිටියදී මෙම ඇතා සොයාගත් නමුත් පස්වරුවේ ඇතා මියගිය බව වාර්තා වේ.