ගෑස් වෙනස් නොවේ .

ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි .

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තව දුරටත් රුපියල් 4,365ක් ලෙස නොවෙනස්ව පවතියි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,750 ක් වන අතර, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 815 ක් ලෙස එම නිවේදනයේ දක්වෙයි .

ජාන්වී කපූර්ගේ වීඩියෝවකට බොලිවුඩයේ විරෝධය .

කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් සෑදූ අසැබි වීඩියෝවක් හේතුවෙන් බොලිවුඩයේ බරපතල සමාජ කැළඹීමක් හටගෙන තිබේ .

ප්‍රකට බොලිවුඩ් නිළියක වන ජාන්වී කපූර්ගේ රූපරාමු යොදා සකස් කරන ලද එම අසභ්‍ය වීඩියෝ පටය සමාජ මාධ්‍ය පුරා සංසරණය වීමත් සමඟ බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. එකී ක්‍රියාවට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව තෙළිගු සහ බොලිවුඩ් සිනමා නළු ජූනියර් එන්.ටී.ආර්. අවධාරණය කර ඇත.

2024 වසරේ තිරගත වූ Devara, Part 1 චිත්‍රපටයේ ජූනියර් එන්.ටී.ආර්. සහ ජාන්වී කපූර් රංගනයෙන් දායක වූ ‘චුට්ටමල්ලේ’ නැමැති ජනප්‍රිය ගීතයේ දර්ශන කෘතිම බුද්ධිය යොදා විකෘති කරමින් මෙම වීඩියෝව සකසා ඇත . මුල් ගීත දර්ශනවල නොතිබූ අසභ්‍ය ස්වරූපයක් මවමින් සකස් කළ මෙම වීඩියෝපටය පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය ජාල තුළ වේගයෙන් සංසරණය වීම නිසා ඒ පිළිබඳව සමාජයේ දැඩි කථා බහක් ඇතිව තිබේ .

මෙම ව්‍යාජ වීඩියෝව හෙළාදකිමින් ප්‍රකාශයක් නිකුත් කළ ජූනියර් එන්.ටී.ආර්. සඳහන් කර ඇත්තේ, මෙවැනි වීඩියෝ නිර්මාණය කිරීම සහ හුවමාරු කිරීම අතිශයින්ම පිළිකුල් සහගත, විකෘති සහ ලැජ්ජා නැති ක්‍රියාවක් බවයි.

මෙම අපරාධයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව උපරිම මට්ටමින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පවසා ඇති ඔහු, අදාළ වීඩියෝව නැරඹීමෙන්, සංසරණය කිරීමෙන් හෝ ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටී.

හොයනවානම් මෙන්න වැඩක්, නොරොච්චෝලේ බලාගරයට ගෙනා ඩීසල් බවුසර් තුනක් අතුරුදහන්.

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරය වෙත ප්‍රවාහනය කළ රුපියල් මිලියන 16.6 කට අධික වටිනාකමකින් යුත් ඩීසල් තොගයක් බලාගාරය වෙත ලබානොදී වෙනත් ස්ථානයකට මුදාහැර සිදුකර ඇතැයි වාර්තා වේ . මෙම මහාපරිමණ ඩීසල් වංචාවක් සම්බන්ධයෙන් පුත්තලම පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් මේවන විටත් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතිබව වාර්තා වේ .

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් අනුබද්ධ සමාගමක් වන ‘ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා (පෞද්ගලික) සමාගම’ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

බලාගාරයේ අභ්‍යන්තර විගණන කණ්ඩායමක් විසින් සිදුකරන ලද පරික්ෂණයකදී මෙම ජාවාරම අනාවරණය වී තිබේ.

පැමිණිල්ලට අනුව, 2025 දෙසැම්බර් මාසයේදී ඩීසල් බවුසර් දෙකක් සහ 2026 ජනවාරි මාසයේදී තවත් ඩීසල් බවුසරයක් වශයෙන් ඩීසල් තොග තුනක් බලාගාරය වෙත ලැබී නොමැති බව විගණන කණ්ඩායම විසින් සොයාගෙන ඇත. මෙම වූ ඩීසල් තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 16.6 ලෙස තක්සේරු කර තිබේ.

එහෙත් අදාළ ඩීසල් තොග බලාගාරයට ලැබුණු බවට එහි ගබඩා භාරකරු විසින් පොත්පත්වල ව්‍යාජ සටහන් යොදා ඇති බවට අනාවරණය වී ඇත. එහෙත් බලාගාරයේ ප්‍රධාන දොරටු දෙකෙහි පවතින ආරක්ෂක ලේඛන පරීක්ෂා කිරීමේදී, අදාළ දිනවල එම ඩීසල් බවුසර් බලාගාර භූමියට ඇතුළු වී නොමැති බව තහවුරු වී තිබේ.

මෙම අතුරුදහන් වූ ඩීසල් තොග තුන වෙනුවෙන් ලක්විජය බලාගාරය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 16.6 ක මුදල සම්පූර්ණයෙන්ම ගෙවා ඇති බවද වාර්තා වී ට ඇත.

සිදුවීමට අදාළව බලාගාරයේ ගබඩා භාරකරුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර, බවුසරයේ සේවකයන් පිළිබඳවද විමර්ශකයන්ගේ අවධානය යොමුව ඇතිබව වාර්තා වේ. මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුවූවක්ද යන්න සෙවීම සඳහා පොලිසිය සැක පලකරයි

වර්තමාන සහ පෙර පැවති රජයන් යටතේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව සෙවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කරන ලද ජනාධිපති කමිටුවේ පවත්වන පරීක්ෂණයේදී මෙම ඩීසල් වංචාව සහ තවත් අක්‍රමිකතා කිහිපයක් අනාවරණය කර ගත හැකිව ඇතිබව වාර්තා වේ.