”ඩඩ්ලිලට සුබයි ගොවියට දුකයි , ධම්මිකලට සුබයි පුල්ටයිමර්ලට දුකයි , අනුරට සුබයි ගමේ ජෙප්පොන්ට දුකයි.”

සැප්තම්බර් මාසේ 23 වන දිනට අනුර කුමාරගේ ආණ්ඩුවට වසර දෙකක් පිරෙන්න බවත්, ගෙවුන වසර දෙකක කාලයේ කිසිම දෙයක් නොකළ බැවින් ජනාධිපතිවරයා රටපුරා චූන් පාන් විකිණීමට යාමට සූදානම් වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවසීය .

එහෙත් මිනිස්සු චූන් පාන් කන්නෙ අනිත් වේල් තුන හොදට කෑවොත් පමණක් බවත්, එබවින් ඡන්දයට කළින් චූන් පාන් කෑ මිනිසුන්ට දැන් චූන් පාන් කෑමට නොහැකි බවත් ඔහු සඳහන් කළේය .

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනය වෙනිසියුලාව සිහිගන්වන බවත්, එරට ජනාධිපති ඩෙල්සි රොඩ්ඩ්‍රිගොස්ට වඩා හපන් පාලනයක් අනුර කුමාර ජනාධිපතිවරයා ගෙනියන බව ඔහු සඳහන් කළේය. හිටපු ජනාධිපති පැහරගෙන ගිය ඇමරිකාව ඩෙල්සි රොඩ්ඩ්‍රිගස් අන්තර් කාලින පාලකයා ලෙස පත්කරගෙන වෙනිසියුලාවේ තෙල් සම්පත කොල්ල කන බවත් ඔහු සඳහන් කළේය .

ලංකාවේ සිදුව ඇත්තේද ඊට සමාන දෙයක් බවත් ඉන්දියානු ව්‍යප්තවාදයට එරෙහිව කතා කරකර බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ජනතා පරමාදිපත්‍යට පිටුපා ඉන්දියාව සමග ගිවිසුම් හතක් අත්සන් කළ බවත්, එකී ගිවිසුම් වල අඩංගු කරුණු මොනවදැයි කිසිවෙක් නොදන්නා බවත් ඔහු සඳහන් කළේය .

මන්නාරම් ද්‍රෝණියේ තෙල් සම්පත ගොඩ ගැනීම සඳහා ආණ්ඩුව ඉන්දියාව සහා බටහිර සමාගම් සමග ගිවිසුම් අත්සන් කරන්න යන බවත්, ඇමරිකාව වෙනුසියුලාවට කළ දේම ඉන්දියාව සහ බටහිර රටවල් අපට කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය .

සුරේශ් සලේට DO ගසා තියාගන්නේ ත්‍රිවිද හමුදාවේ කොදුනාරටිය කැඩීමට බවත්, කොටි ත්‍රස්තවාදය පරාජය කරපු පළිය ගන්නට හදනා බවත් ඔහු සඳහන් කළේය . වත්මන් රජය 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නතර නොවනා බවත්, ඉන්පසු විහාර හා දේවාල ගම් පනතටත් අත තියනා බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය .

ආණ්ඩුවේ ගෙවී ගිය මේ දෙවසර ගැන කියන්නට ඇත්තේ ”ඩඩ්ලිලට සුබයි ගොවියට දුකයි , දම්මිකලට සුබයි පුල්ටයිමර්ලට දුකයි , අනුරට සුබයි ගමේ ජෙප්පොන්ට දුකයි.” කියා බවත් ඔහු සඳහන් කළේය .

බහුජන නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය .