එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකා අනතුරට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී, එම නෞකා සමාගමෙන් සහ දේශීය නියෝජිතයන්ගෙන් අයවිය යුතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 999 කට ආසන්න (ඇමෙරිකානු ඩොලර් 999,000,000) හිඟ වන්දි මුදල අදාළ පාර්ශ්වයන්ට අහිමි කරමින් නීති විරෝධී වාසියක් සැලසූ බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඊයේ (30දා) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධිනයේ (MCPA) සභාපති වෛද්‍ය චාමල් සංජීව විසින් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත මෙම ලිඛිත පැමිණිල්ල යොමු කර තිබේ. එම පැමිණිල්ල මගින් දක්වා ඇත්තේ SC/FR/168/2021, SC/FR/176/2021, SC/FR/184/2021 සහ SC/FR/277/2021 යන නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, අග්රවිනිශ්චයකාරවරයා ප්රමුඛ පස්පුද්ගල විනිසුරු මඬුල්ලක් ලබා දුන් තීන්දුව සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් අදාළ විනිසුරුවරුන් තිදෙනා ක්‍රියා කර ඇති බවයි.
2025 ජූලි 24 වන දින ලබා දුන් නඩු තීන්දුවට අනුව, 2025 සැප්තැම්බර් 24 වන දිනට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් ගෙවීමට එකී නෞකා සමාගමට සහ නියෝජිතයන්ට නියම කර තිබුණද, ඔවුන් ගෙවා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 01 ක් පමණක් බව පැමිණිල්ලේ සඳහන් වේ. අධිකරණ නියෝගය කඩකිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පියවර ගන්නා ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියද, අදාළ විනිසුරුවරුන් තිදෙනා ඒ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැති බවද එහි දැක්වේ.
මෙම නඩු තීන්දුව සකස් කිරීමට මූලික වූ සහ මීට පෙර පැවැති විනිසුරු මඬුල්ලේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වූ යසන්ත කෝදාගොඩ කිසිදු නීත්‍යානුකූල හේතුවකින් තොරව ඉවත් කර, 2026 ජනවාරි 26 වන දින චෝදනාවට ලක්ව සිටින විනිසුරුවරුන් තිදෙනාගෙන් පමණක් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ නඩුව කැඳවා ඇති බව සඳහන් වේ.
අධිකරණයේ පවතින සාමාන්‍ය සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් එදිනම එකී විනිසුරු මඬුල්ල විසින් නඩු කටයුතු අවසන් කිරීමට (Terminating the proceedings) නියෝග කර ඇත. එම නියෝගය හේතුවෙන් ඩොලර් මිලියන 999 ක පමණ වන්දි මුදලක් අදාළ සමාගමෙන් අයකර ගැනීම වැළකී ගොස් ඇති අතර, අධිකරණය මගින් පත්කර තිබූ ‘වන්දි කළමනාකරණ කොමිෂන් සභාවට’ ද (Compensation Management Commission) සිය ඉදිරි කටයුතු කරගෙන යාමට නොහැකි වී ඇති බව 2026 මාර්තු 06 දිනැති ලිපියක් මගින් පෙත්සම්කරුවන්ට දැනුම් දී තිබේ.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනයක් ඉල්ලයිඅදාළ විනිසුරුවරුන් තිදෙනාගේ මෙම හැසිරීම 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 111 වගන්තිය ප්‍රකාරව මහජන ධුරය අනිසි ලෙස භාවිත කරමින් සිදුකළ “දූෂණ ක්‍රියාවක්” (Act of Corruption) බවට පෙනී යන බැවින්, ඒ පිළිබඳව ස්වාධීන හා විශ්වාසදායක විමර්ශනයක් පවත්වා නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසත්, එම විමර්ශනයේ ප්‍රගතිය පනතේ 44 වගන්තියට අනුව තමන් වෙත දැනුම් දෙන ලෙසත් වෛද්‍ය චාමල් සංජීව අල්ලස් කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි