දුම්රිය සේවකයන්ට සමාජ මාධ්‍ය තහනම්

රාජකාරී වේලාව තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීමට අදාල සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද(26) නිකුත් කර ඇත .

දෙපාර්තමේන්තුවට සම්බන්ධ ඇතැම් සංවේදී තොරතුරු සමාජ ගතවීමේ ප්‍රවණතාවක් මෑතක සිට දැකිය හැකි බවත්, ඊට දුම්රිය සේවකයන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හේතුවී ඇතිබවත් හඳුනාගෙන ඇති බැවින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

මේ ආකාරයෙන් සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ ගතවීම හේතුවෙන් මහජන විශ්වාසය බිඳ වැටීම සිදුවන අතර ඊට අමතරව ආයතනික විනය බරබතල ලෙස අවධානමකට ලක්වන බවත් හඳුනාගෙන ඇතැයි දුම්රිය ආරංචිමාර්ග පවසයි .

මෙම නව චක්‍රලේඛයට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශවයකට හෝ මාධ්‍ය වෙත ලබා දිය හැකි වන්නේ, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයාට සහ තොරතුරු නිලධාරියාට පමණි .

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය අනුව එමගින් පනවා ඇති නීති රීති උලංඝණය කරනා සේවකයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර ඇත .