ත්‍රී රෝද රථ පැදවීමේ වයස ඉහළ දැමීමට පෙර තරුණයන්ට රැකියා නිර්මාණය කරන්න.

විරැකියාවට විසදුම් ලබාදෙනවා වෙනුවට අවුරුදු හතලිහට අඩු අයට ත්‍රීරෝද රථ රියදුරු රැකියාව තහනම් කිරීමට ආණ්ඩුවේ ඇමැතිවරු සූදානම් වන්නේ කිසිදු සමීක්ෂණයක්, සංඛ්‍යා දත්තයක් ගැන අවධානයක් යොමු නොකර බව යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ ලේකම් ළහිරු වීරසේකර පැවසුවේය. මෙසේ ත්‍රීරෝද රථ රියදුරන් ලෙස එක්වීමට වයස් සීමාවක් පැනවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවද ඔහු අවධාරණය කළේය.

සෑම දෙයකටම විසදුම වයස වැඩි කිරීම යැයි විශ්වාස කරන ආණ්ඩුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමට සූදානම් වන ආකාරයටම ත්‍රීරෝද රථ රියදුරෙක් බවට පත්වීමේ වයස අවුරුදු හතලිහක් දක්වා ඉහළ නැංවීමට සූදානම් වන බවද ඔහු සදහන් කළේය.

රෝහල් සහායක පුරප්පාඩු දාහතරදහසක් තිබෙන නමුත් ඒවා පුරවාගැනීමට කටයුතු නොකරන ආණ්ඩුව ත්‍රිරෝද රථ රියදුරන්ට සීමාවන් පැනවීමට උත්සාහ ගන්නා බවද ඔහු පැවසුවේය. ආණ්ඩුව විශ්වාස කරන්නේ ත්‍රීරෝද රථ නැති කළ විට සියල්ලටම විසදුම් ලැබෙන බව ආණ්ඩුව විශ්වාස කර ඇති බවද ඔහු කීවේය

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රැකියා විරහිතභාවය නැති කිරීමට රැකියා බැංකුවක් පිහිටුවන බව පැවසුවත් එවැන්නක් පිහිටුවා නැති බව ළහිරු වීරසේකර පැවසුවේය. මේවා පවසා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වයසට සීමාවක් පැනවීම මගින් දැනටමත් ත්‍රීරෝද රථ රියදුරන් වෙනුවෙන් ආණ්ඩුව රැකියා ලබාදීම සදහා තිබෙන සැලසුම කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ළහිරු වීරසේකර මෙසේද පැවසුවේය.

“ත්‍රීරෝද රථ පදින අය ගැන නලින් හේවගේ නියෝජ්‍ය ඇමැතිවරයා කියලා තියෙන කතාවලින් තරුණයින් ගැන ආණ්ඩුවේ ආකල්පය පැහැදිළි වෙනවා. ඉස්කෝලෙන් එළියට ආපු ගමන් තරුණයෝ ත්‍රීවිල් එකක් අරගෙන පාරට එනවා කියලා තමයි නියෝජ්‍ය ඇමැති හිතාගෙන ඉන්නේ. ලක්ෂ එකොලහක් ත්‍රීවීල් තියෙනවාය කියලා නියෝජ්‍ය ඇමැති කියනවා. ත්‍රීවිල් ලක්ෂ එකොලහ කියන්නේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ත්‍රීවිල්. මේ වයස් සීමාවේ මේ තරම් තරුණයෝ ත්‍රීවිල් රියදුරන් ඉන්නවා කියලා කිසිම සංඛ්‍යාලේඛනයක් නෑ. සමාජයේ හොද යැයි සම්මත රැකියා කරන අය ගෙදර යන ගමන් ඇප් එකක් දාගෙන, තමන්ගේ වාහනයෙන්, බයිසිකලයෙන්, ත්‍රීවිල් එකෙන් හයර් එකක් දුවලා කීයක් හරි හම්බකරගන්නවා. මහ රෑට කෑම ප්‍රවාහනය කරලා සල්ලි හොයනවා.

ත්‍රිරෝද රථ රැකියාවේ නිරතවන අය, මෝටර් සයිකල්වලින් ගිහින් ඇප් හරහා සේවා සපයන තරුණ තරුණියෝ බොහෝ පිරිසක් ඉල්ලනවා. මේ ඇප් නියාමනය කරන්න කියලා ත්‍රීරෝද රථ සංගම් කාලයක් තිස්සේ ඉල්ලනවා. ඒත් ඒවාට ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා නෑ.

නියෝජ්‍ය ඇමැතිවරයා කියන දේවල් මහපොලොවේ යතාර්ථකයක් කරගන්න බෑ. නිෂ්පාදන ආර්ථිකයක් හදන්නේ නැතිව ත්‍රීවිල් එක අතහැරලා වෙනත් එකක් තෝරාගන්න කියලා මේ අය කියනවා. රැකියා හදන්න මොකක්ද ආණ්ඩුවට තියෙන වැඩසටහන. ඒවා ක්‍රියාත්මක කරන්නේ නැතිව තමයි නියෝජ්‍ය ඇමැති ත්‍රීරෝද රථ සදහා වයස් සීමාවක් පනවන්න හදන්නේ.

වැඩ කරන තරුණ තරුණියන්ගේ වෘත්තීය අයිතිවාසිකම් අහිමි වන විට ඒ ගැන කතා නොකරන ආණ්ඩුව ත්‍රීවිල් පදින අය ගැන කතා කරනවා. වැඩ කරන ජනතාවගේ සේවක භාරකාර අරමුදලේ, සේවක අර්ථාධක අරමුදලේ තිබෙන මුදල් හාම්පුතුන්ට කොල්ලකෑමට ඉඩදෙන ආණ්ඩුව තරුණයින්ට ත්‍රීවිල් එකෙන් බැහැලා එන්නලු.

මේ දේවල්වලින් තවත් රැකියා විරහිත තරුණයින්ගේ සංඛ්‍යාව වැඩිවීමයි වෙන්නේ.”