මන්නාරමේ තෙල් ගවේෂණය ආරම්භ කරයි .

දශක ගණනාවක් පුරා සාකච්ඡාවට ලක්වෙමින් පවතින මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු ගවේෂණය කිරීමේ ඓතිහාසික ‘2026 බලපත්‍ර පිරිනැමීමේ වටය’ නිල වශයෙන් ආරම්භ කරමින්, වර්ග කිලෝමීටර 34,000කට ආසන්න ගැඹුරු මුහුදු බිම් කොටස් 4ක් සඳහා අන්තර්ජාතික ආයෝජකයන් වෙතින් ලංසු කැඳවීම ඊයේ (25) සිදුකෙරිණි.

මන්නාරම් ද්‍රෝණිය තුළ තෙල් බැරල් බිලියන 2ක් සහ ස්වාභාවික වායු කියුබික් අඩි ට්‍රිලියන 9ක අතිවිශාල සම්පතක් පවතින බවට කෙරෙන විද්‍යාත්මක තක්සේරුව පදනම් කරගනිමින්, නවීන නියාමන රාමුවක් යටතේ පූර්ණ විනිවිදභාවයෙන් යුතුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

ලංසු කැඳවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේ, මීටර් 100 සිට 3,000 දක්වා වූ ගැඹුරු මුහුදු සීමාවන්හි පිහිටි මෙම බිම් කොටස් හරහා ජාත්‍යන්තර ආයෝජකයන්ට විශාල අවස්ථාවක් හිමිවන බවයි.

මෙම ක්‍රියාවලිය ඛනිජ තෙල් සම්පත් පනතට අනුකූලව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ පාලනය යටතේ සිදුකෙරේ.