හෙට හිරු උදාවට පෙර ග්‍රහලෝක 6 ක් එක පෙළට දිස්වෙයි .

හෙට (12) හිරු උදාවීමට පෙර බුධ, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නැප්චූන් යන ග්‍රහලෝක 6 ක් නැගෙනහිර සහ දකුණු අහස හරහා එක එල්ලේ දිස්වන ‘ග්‍රහලෝක පෙරහැර’ (Planet Parade) නරඹන ලෙස ආතර් සී. ක්ලාක් නූතන තාක්ෂණයන් පිළිබඳ ආයතනයේ තාරකා විද්‍යා අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම ග්‍රහලෝක 6 අතුරින් අඟහරු, සෙනසුරු, බුධ සහ බ්‍රහස්පති යන ග්‍රහලෝක 4 පියවි ඇසට දර්ශනය වන අතර, යුරේනස් නැරඹීමට දුරදක්නයක් සහ නැප්චූන් නැරඹීමට තාරකා විද්‍යාත්මක දුරදක්නයක් අවශ්‍ය වේ.

හෙට අලුයම 4.30 ත් 5.15 ත් අතර කාලය මෙම දර්ශනය නැරඹීමට සුදුසු වේලාව වෙයි . නැගෙනහිර ක්ෂිතිජයේ සිට දකුණු අහස දිසාවෙන් මෙම දසුන නැරඹිය හැක .

මෙහිදී අඟහරු සහ සෙනසුරු පහසුවෙන් හඳුනාගත හැකි අතර, බුධ සහ බ්‍රහස්පති නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නව පහළින් පිහිටන බැවින් හිරු උදාවට ආසන්න වනවිට නිරීක්ෂණය තරමක් අපහසු විය හැක. ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පිහිටීම නිසා මෙය නිරීක්ෂණයට ඉතා සුදුසු පරිසරයක් නිර්මාණය වේ.

මීට අමතරව, අගෝස්තු 12 වැනිදා රාත්‍රියේ සිට 13 වැනිදා අලුයම දක්වා කාලය තුළ ප්‍රකට ‘පෙරසීඩ් උල්කාපාත වර්ෂාව’ ද උපරිම මට්ටමින් දර්ශනය වීමට නියමිතය.

වසර 133 කට වරක් සූර්යයා වටා ගමන් කරන ‘109P/Swift-Tuttle’ ධූමකේතුවේ කොටස් මඟින් මෙම උල්කාපාත වර්ෂාව නිර්මාණය වන අතර, එය ‘පර්සියස්’ (Perseus) තාරකා රාශිය දෙසින් මතුවන බවක් පෙනී යයි.

එය නැරඹීමට හෙට (12) මධ්‍යම රාත්‍රියෙන් පසුව ඊසාන දිග අහස නිරීක්ෂණය කළ යුතුය.