බොරැල්ල මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සපයන බවට සැකපිට බන්ධනාගාර නියාමකවරයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත . ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 20 කට ආසන්න බවද පැවසේ .
දෙහිවල වෛද්‍ය පාරේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග ගල්කිස්ස ප්‍රදේශයේදී පළමුව අත්අඩංගුවට ගෙන ඇත .
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මැගසින් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින පුද්ගලයෙකු ඇතුළු තවත් කිහිප දෙනෙක් ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වූ අතර එම මත්ද්‍රව්‍ය පාර්සලය ඊළඟට ලබාදීමට නියමිතව තිබූ බොරැල්ල වනාත පාරේ පුද්ගලයෙකු පිළිබඳවද තොරතුරු ලබාගැනීමට හැකිව තිබේ.
ඒ අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටද ඒ අනුව සැලසුමක් සකස් කර ඇත. එහිදී බන්ධනාගාර ක්‍රීඩා ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු සැකකරු අසලට පැමිණ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එහිදී අවට රැක සිටි ස්ථානාධිපතිවරයා ප්රමුඛ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් නියාමකවරයා පසුගිය ජනවාරි මාසයේදී බන්ධනාගාරයේ සේවයට පැමිණි අයෙකු බවත් ඊට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ නිරතව සිට ඇති බවත් සඳහන් වේ. මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ආරම්භ කර ඇත.