රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා මේ මස 06 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.
එම අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් තමන් විරෝධය පළ නොකරන බවය.
සිය සේවා දායකයාගේ පෙත්සමට එරෙහිව කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද ඔහු පැවසීය.
ඉන් අනතුරුව වගඋත්තරකාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් කියා සිටියේ මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බවය.
මීට පෙර නිශ්චිත නඩු තීන්දු කිහිපයක් උපුටා දක්වමින් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එම නඩු තීන්දුවලට අනුව මෙම අතරමැදි පෙත්සම් සඳහා අනුමැතිය දීමට හැකියාවක් නොමැති බවත් තර්ක කළාය.
කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙම අතරමැදි පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන්ද තමා අධිකරණයේ අවධානය යොමු කරන බවය.
මේ වන විට සුරේෂ්ගේ පෙත්සමට පක්ෂව සහ විරුද්ධව ඉදිරිපත්ව ඇති අතරමැදි පෙත්සම් සියල්ලටම තම අධිකරණය සවන් දෙන බවත් එම පෙත්සම්වලට අදාළ දේශන ඉදිරිපත් කිරීම විනාඩි දහයකට සීමා කර ගන්නා ලෙසත් සභාපති විනිසුරුවරයා නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා කරුණු දක්වමින් “විධායකය විසින් සිය බලය අවභාවිත කිරීම සැලකිල්ලට ගෙන සිය සේවාදායකයින් මෙම අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබෙන බව පැවසීය .
පෙත්සම්කරු රඳවා ගැනීම සඳහා රැදවුම් නියෝග නිකුත් කර තිබෙන්නේ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ලෙසයි. පෙත්සම්කරු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් වග උත්තරකරුවන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නැති බව ඔහු පැවසීය . වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
”නීතියේ ආධිපත්‍ය මෙන්ම ජනතා පරමාධිපත්‍යය සුරැකීම උදෙසා තමා මාගේ සේවාදායකයින් මෙම අතරමැදි පෙත්සම ඉදිරිපත් කළේ. මෙහි විමර්ශකයින් පත්කර තිබෙන්නේ කතෝලික පල්ලිය විසින්. සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සදහන් කර තිබුණා කතෝලික ප්‍රජාවගේ ප්‍රධානියා වන කාදිනල් හිමිගේ ඉල්ලීම මත ශානි අබේසේකර මෙම විමර්ශනය සඳහා පත්කළ බව. ඊට අදාළ හැන්සාඩ් වාර්තාවත් මම අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ තත්වය යටතේ සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන්න පුළුවන් ද . පාස්කු ප්‍රහාරයේ අගතියට පත් පාර්ශවයක් විසින් තෝරා දුන් විමර්ෂකයින්ගෙන් සුරේෂ් සලේට යුක්තිය අපේක්ෂා කරන්නේ කෙසේද.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කමිටු කීපයක් මගින් නිර්දේශ කර තිබෙනවා ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නට එරෙහිව අපරාධ නීතිය යටතේ පියවර ගන්නා ලෙස. මේ තත්වය යටතේ පෙත්සම්කරු අත් අඩංගුවට ගෙන රදවා ගැනීම සාධාරණීකරණය කරන්නේ කෙසේද. අධිකරණයක් හමුවේ පෙනී සිටි විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයෙකුට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කරලා තිබෙනවා ඔය යකඩ පටි කෑලි එල්ලගෙන එන අය කියන දේවල් පිළිගන්න බෑ කියලා. මේක තමයි ස්වාමීනී… වර්තමානයේ ආරක්ෂක අංශ සාමාජිකයින් පිළිබඳව තිබෙන ආකල්පය. මේක භයානක තත්ත්වයක්. මෙම තත්ත්වය නිසා ආරක්ෂක හමුදාවලට තරුණයින් සම්බන්ධ වීම අධෛර්යමත් කිරීමට හේතුවක් වෙනවා.”
තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි අතරමැදි පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා අතරමැදි පාර්ශවයන්ට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව සඳහන් කළේය. ඒ බව තහවුරු කරන නඩු තීන්දු කිහිපයක් ද ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ ආකාරයට පුද්ගලයින් අපහසුතාවය පත් කිරීමේ අරමුණින් ක්‍රියාවේ යෙදවිය නොහැකි බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම පනත අවභාවිතා කිරීම සඳහා විමර්ශකයින්ට අවසර හිමි නොවන බවත් පැවසුවේය.
වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන් බවත් එම තීන්දුව තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කිරීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබෙන බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.