”හරක් කටා” ගැන දුන් අධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක් .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින නදුන් චින්තක හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇත .

කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මේ බව අධිකරණය හමුවේ පැවසීය .

විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බවත්, අදාළ නියෝගයට එරෙහිව අභියාචනයක් ගොනු කිරීමට නියමිත බැවින් මේ අවස්ථාවේ ඇප ඉල්ලීම සලකා බැලීම සුදුසු නොවන බවත් රජයේ නීතිඥවරයා එහිදී සඳහන් කළේය .

එමෙන්ම විත්තිකරුවන් ඇප මත මුදා හැරියහොත් නැවත අධිකරණයට ඉදිරිපත් කර ගැනීමේදී ගැටලු මතුවිය හැකි බැවින් නීතිපතිවරයා ලිඛිත විරෝධතාද ගොනු කිරීමට අපේක්ෂා කරන බව ද රජයේ නීතීඥයා එහිදී සඳහන් කළේය .

කෙසේවෙතත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ, අභියාචනයක් ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කිරීම පමණක් පදනම් කරගෙන ඇප ඉල්ලීම් කල් දැමිය නොහැකි බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධ නියෝගය අගෝස්තු 20 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් අතර, රජයේ පාර්ශ්වයට විරෝධතා ඇත්නම් ඒවා සතියක් ඇතුළත ගොනු කරන ලෙස නියෝග කළේය .

මේ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා ඉවත් කර ඇති බැවින්, තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින “හරක් කටා” සුදුසු වෙනත් බන්ධනාගාරයක රඳවා තැබීමටද අධිකරණය නියෝග කර තිබෙනවා.