විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවාට සත්‍ය හා යුක්තිය උදෙසා වූ නීතිඥයෝ විරෝධය පලකරති.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් බව සත්‍ය හා යුක්තිය උදෙසා වූ නීතිඥයෝ සංවිධානයේ සභාපති නීතිඥ අමිල එගොඩමහවත්ත අවධාරණය කරයි .

කොළඹදී පැවති මාධ්‍යහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා තමන් සහාය දැක්වුවද, අධිකරණ පද්ධතියට අහිතකර ලෙස බලපාන මෙවැනි තීරණ සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැකි බව ඔහු එහිදී පැවසීය . රජය මගින්
යෝජිත සංශෝධන බලාත්මක කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම එහි විනිවිදභාවයට ද බාධාවක් විය හැකි බව ඔහු සඳහන් කළේය .

මහජනතාව වත්මන් රජයෙන් අපේක්ෂා කරන්නේ දූෂිතයන්ට සහ වංචාකරුවන්ට එරෙහිව නීතිය වේගවත්ව ක්‍රියාත්මක වන කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් මිස, විනිසුරුවන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සංශෝධනය අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට උචිත නොවන බැවින් එය වහාම හකුලා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය .