දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුමට පාතාල කණ්ඩායම් දෙකක් ගැටෙයි .

දෙවුන්දර දේවාලයේ පෙරහැරට සහභාගිවන කාවඩි නර්තන කණ්ඩායම් අඩුකිරීම සම්බන්ධයෙන් ඉකුත් 20 වැනිදා කිසිවකු විසින් එහි බස්නායක නිලමේ වන තිළිණ මධුසංකට මරණ තර්ජන සිදුකිරීමේ සිද්ධිය පිටුපස පාතාල කල්ලි දෙකක ගැටුමක් ඇතිබව පොලිස් ආරංචිමාර්ග පවසයි .

බස්නායක නිළමේට තර්ජනය කළ පුද්ගලයා ‘KPI’ යන අන්වර්ථ නාමය භාවිත කරමින් එම තර්ජනය සිදුකර ඇත. ‘KPI’ යනු කංජිපානි ඉම්රාන් යන්න හැඟවෙන කෙටි නාමයක් විය හැකිබව පොලිසිය සැකකරයි .

එම තර්ජනයට ප්‍රතිචාර දක්වමින් දෙහිබාලේ මල්ලි නම් අපරාධකරු විසින් කංජිපානි ඉම්රාන්ට මරණ තර්ජනය කරන බව පැවසෙන හඬපටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි .

මෙම තත්ත්වය නිසා එළැඹෙන 29 වැනිදා පැවැත්වීමට නියමිත දෙවුන්දර ඓතිහාසික විෂ්ණු දේවාලයේ පෙරහැර සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන ඇත. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව හා පොලිසිය එක්ව පෙරහැර සමයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් දෙවුන්දර අවට ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ .