ඩෙංගු රෝග ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය කිරීම සඳහා යොදාගන්නා වොල්බැකියා බැක්ටීරියාව (Wolbachia), මෙරට ඩෙංගු මර්දනය සඳහා යොදාගැනීමට රුපියල් මිලියන ගණනක් වියදම් කරමින් නියමු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ ද, විවිධ හේතූන් මත ඒවා අතරමග නතර කර දැමීම කණගාටුවට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
පරිසරයට හානිදායක නොවන අන්දමට, ස්වාභාවික ලෙස ඩෙංගු වෛරස ව්‍යාප්තිය පාලනය කරමින්, රෝගය බෝ කරන Aedes aegypti මදුරු ගහනය මර්දනය කිරීමට මෙන්ම මදුරුවා තුළ වෛරසය වර්ධනය වීම සීමා කිරීමට මෙම බැක්ටීරියාව උපකාරී වේ.
දැනට සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, බ්‍රසීලය, කොලොම්බියාව, වියට්නාමය, මැලේසියාව, මෙක්සිකෝව සහ ඉන්දියාව වැනි රටවල් රැසක මෙය සාර්ථක ලෙස භාවිත කරන බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
අවස්ථා ගණනාවකදීම මෙම බැක්ටීරියාව ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීම සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක වුව ද, විවිධ බලපෑම් හේතුවෙන් එම ව්‍යාපෘති අතරමග නතර කෙරුණු බව ඔහු පවසයි.
මෙම බැක්ටීරියාව භාවිත කළ බොහෝ රටවල මදුරු ගහනය සියයට හැත්තෑවකට වඩා වැඩි ප්‍රතිශතයකින් අඩු කරගැනීමට හැකි වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු වසංගත තත්ත්වයන් පාලනය කරගැනීමට එම රටවලට හැකියාව ලැබී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
“අදාළ මදුරුවා තුළ පමණක් මෙම බැක්ටීරියාව ජීවත් වනවා. පරිසරයට හානිදායක නොවන මෙම බැක්ටීරියාව, මදුරුවාගේ ශරීරය තුළ ගුණනය වෙමින් සෛලවල ජාන පදනම වෙනස් කිරීම හරහා මදුරු ගහනය පාලනයටත්, ඩෙංගු වෛරසය මදුරුවාගේ සෛල තුළ වර්ධනය වීම වැළැක්වීමටත් කටයුතු කරනවා” යැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
මීට අමතරව, ඩෙංගු රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විට ලොව රටවල් රැසක් නව තාක්ෂණය මුසු වූ ක්‍රමවේද භාවිත කරන බවත්, ඇතැම් රටවල් කුඩා දරුවන් සඳහා එන්නත් ලබාදීම පවා සිදුකරන බවත් ඔහු පෙන්වා දෙයි.