මැතිවරණයකදී රුපියල් මිලියන 100 නාස්ති කළ වැඩන් නතර කරයි .

මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කළ බවට තහවුරු කිරීමට ඇඟිල්ලේ තීන්ත ආලේපනය කිරීම අහෝසි කිරීමෙන් මැතිවරණයකදී රුපියල් මිලියන 100 ක පමණ මහජන මුදල් ඉතිරිකිරීමේ හැකියාව ලැබෙන බව ‘පැෆ්රල්’ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

මෙම තීරණය සෑම අතින්ම ඉතාම හොඳ තීරණයක් බවත්, එය කලක සිට යෝජනා වෙමින් තිබූ එකක් බවත් ඔහු සඳහන් කළේය .

‘පැෆ්රල්’සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

මෙම යෝජනාව වසර ගණනාවක් තිස්සේ මැතිවරණ ක්ෂේත්‍රයේ, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවට ලක් වූ කරුණක් බවත් මෙම ක්‍රමවේදය ඉවත් කිරීමෙන් තීන්ත ආනයනය කිරීම, බෙදා හැරීම සහ ඒ සඳහා අවශ්‍ය පරිපාලන ක්‍රියාවලිය සඳහා වැයවන මුදල සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවී මැතිවරණ වියදම් අඩු කිරීමෙන් මහජන මුදල්ද ඉතිරි කරගත හැකි බවත් ඔහු පැවසීය.

ඡන්දය ප්‍රකාශ කිරීමේදී චන්දදායකයාගේ අනන්‍යතාපත්‍රය අනිවාර්යය කර තිබීම හේතුවෙන් වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාද සැලකිය යුතු ලෙස අවම වී ඇත. මේ හේතුමත නොමැකෙන තීන්ත ආලේප කිරීමේ අවශ්‍යතාවය පෙරමෙන් දැඩි ලෙස නොපවතින බවට අදහස කාලයක සිට ඉදිරිපත්ව තිබූ පවසයි .