උතුරේ දූපත් තුනකට දවසේ පැය 24 ම විදුලිය .

නයිනතිව් (නාගදීපය), අනලතිව් සහ ඩෙල්ෆ්ට් යන දූපත්වල පදිංචිකරුවන්ට දැනට ඉදිකරමින් පවතින නව දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් හරහා නුදුරේදීම පැය 24 පුරා නොකඩවා විදුලිය ලබාදීමට හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසීය

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය .

දීර්ඝ කාලයක සිට මෙම දූපත්වල විදුලි උත්පාදනය සඳහා ඩීසල් බලාගාර මත යැපීමට සිදුව තිබූ බවත්, මුහුදු මාර්ගයෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී ඇතිවන ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් එය අධික පිරිවැයක් මෙන්ම නඩත්තු කිරීමට අපහසු කාර්යයක් වූ බවත් අමාත්‍යවරයා පැවසීය .

විශේෂයෙන්ම අයහපත් කාලගුණික තත්ත්වයන් සහ ස්වාභාවික ව්‍යසනයන් පවතින කාලවලදී මෙම දූපත්වල විදුලි සැපයුම නිතර බිඳවැටුණු බවද ඔහු සඳහන් කළේය.

‘කුඩා දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ඉදිකිරීම’ (Construction of Hybrid Renewable Energy Systems in Small Islands) ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය, ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත ඇමෙරිකානු ඩොලර් මිලියන 11කට ආසන්න පිරිවැයකින් ක්‍රියාත්මක වේ.