ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්ණ කරනු ලබන විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සාලේ සම්බන්ධ නඩුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියෙ කැඳවනු ලදි .
එහෙත් එම අවස්ථාවේ පමිණිළි පාර්ශවය නියෝජනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙනී නොසිටී බව වාර්තා වේ.
අද දින මෝසමක් ගොනු කර කරුණු දැක්වීමට නියමිත බව පැමිණිලි පාර්ශ්වයට කල්තියා දැනුම් දී තිබූ බව සැකකාර මේජර් ජනරාල් සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවසූහ.
එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු පවසා සිටියේතම සේවාදායකයා වන විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ දැඩි විශාදය , කාංසාව සහ පශ්චාත් කම්පන ආතති අක්රමිකතාවයෙන් පෙළෙන බවත්, එම තත්ත්වය වෛද්‍ය වාර්තා මඟින් තහවුරුව ඇතිබවත් ය.
පවතින දැඩි මානසික පීඩනය හේතුවෙන් තම සේවාදායකයා තුළ දිවි නසාගැනීමේ ප්‍රවණතාවක් හටගෙන ඇති බැවින්, ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වී ඇති බව නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
දැනට රැඳවුම් නියෝග මත පසුවන විශ්‍රාමික මේජර් ජනරාල්වරයාට අවශ්‍ය මානසික ප්‍රතිකාර සහ රැකවරණය ලබාගත හැකි සුදුසු පරිසරයක ඔහුව රඳවා තැබීමට නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම කරුණේ පවතින හදිසි සහ සංවේදී ස්වභාවය සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුව ජූනි 04දා පස්වරු 2.00ට නැවත කැඳවන ලෙස නියෝග කළේය. ඒ අනුව, නඩුව කැඳවන අවස්ථාවේදී පැමිණිලි පාර්ශ්වයටද අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත් පසන් අමරසේන පියවර ගත්තේය.