තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ භික්ෂූන්වහන්සේලා 23 දෙනා අද එළැඹෙන මීගමුව බන්ධනාගාරය මගින් , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනා ලදි . එහිදී එම භික්ෂූන් වහන්සේලා මැයි 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානී අබේසේකර නියෝග කළාය.
තායිලන්තයේ සංචාරයක නිරත වූ භික්ෂූන් වහන්සේලා 22 නමක් අප්‍රෙල් 25 වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේ ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112 ක් හමුවීමෙන් පසු එම භික්ෂූන්වහන්සේලා අත් අඩංගුවට ගෙන රාක්ෂිත බන්ධනාගාර ගතකරනා ලදි .
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අඟුණකොළේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බව අනාවරණය කරගත හැකි වූ අතර එම භික්ෂුවද ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.
එමෙන්ම මෙම පිරිස මෙහෙය වූ බව කියන මින්පෙර අවස්ථාව වලදීද මත්ද්‍රව්‍ය මෙරටට ගෙන එම සඳහා ඊට ආධාර අනුබලදුන් මහමුද් මොහොමඩ් නැමති පුද්ගලයකු කොළඹ ප්‍රදේශයේදී ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 9 ඉදිරිපත් කළ අතර 14 වැනිදා දක්වා තවදුරටත් රඳවා ප්‍රශ්න කරන ලෙසද මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සැකකරුවන් පිරිස දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර බන්ධනාගාර නිලධාරීන් විසින් මෙහි ප්‍රධාන සැකකාර අමිතානන්ද නම් භික්ෂුව සහ සෙසු චීවරධාරීන් විසිදෙදෙනා ඊයේ (12) පෙරවරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර හමුවේ නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පැමිණ සිටියේ නැත. එහිදී එම නිලධාරීන් පැමිණෙන තුරු එම නීති කෘත්‍ය ආරම්භ කිරිම හතර වාරයක් කල් තැබීය. 11.30 වන තුරු අදාළ නිලධාරීන් අධිකරණයට නොපැමිණි නිසා නඩු විභාගය ආරම්භ කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. නියමිත වේලාවට අධිකරණයට නොපැමිණි නිලධාරීන් ඊට හේතුව නඩුව කැඳවන මීළග දිනයේ විවෘත අධිකරනයේදී පැවසිය යුතුබව මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය .
එම නියෝග ලබා දුන් අවස්ථාවේ කාන්තා උප පොලිස් පරික්ෂක ලක්මාලි අධිකරණයට පැමිනියාය. එහිදී උප පොලිස් පරීක්ෂිකාව මහෙස්ත්‍රාත්වරියගේ දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්විය . මෙය සමාන්‍ය නඩුවක් නොවනා බවත් නඩුවේ විත්තිකරුවන් භික්ෂුන් වහන්සේලා බවත් පැවසූ මහෙස්ත්‍රාත්වරිය නිසි වේලාවට අධිකරණයට පැමිණෙන ලෙස සියළුම නිලධාරීන්ට තරයේ අවවාද කළාය.
අධිකරණයට වාර්තාවක් ඉදිරිපත්කරමින් කරුණු දක්වූ කාන්තා උප පොලිස් පරික්ෂක ලක්මාලි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම්කරුවන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බව පැවසූවාය .
“ස්වාමිනි, මේ සියලුම ස්වාමින් වහන්සේලාව එකතු කරලා තියෙන්නේ පූජ්‍ය අගුණුකොළේ අමිතානන්ද හිමි විසින්. උන්වහන්සේ එසේ කර ඇත්තේ වට්ස් ඇප් සමුහයක් ( Whatsapp Group): හරහායි. මේ හාමුදුරුවරු තායිලන්තයේ දි සිවිල් ඇඳුමින් සැරසි සාප්පු සවාරියේ යෙදිලා තියනවා. ඒ වගේම මේ හාමුදුරුවන් සම්බන්ධයෙන් කළ මත්ද්‍රව්‍ය පරික්ෂනයේදි හාමුදුරුවෝ 22න් 21 ම එම මත්ද්‍රව්‍ය පරික්ෂණය සමත් වෙලා තියනවා. ඒ අනුව ඔවුන් ගංජා සහ කුෂ් ශරිර ගතව ඇති බව එම වාර්තා වල දැක්වෙනවා.” යයි පැවසීය .