බිලියන දහයක මැණික් ගොඩගන්නට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරස් වෙයි

රුපියල් බිලියන දහයක පමණ මැණික් ඇති බවට හඳුනාගෙන ඇති මොණරාගල කුඹුක්කන් ඔය ආශ්‍රිත ජලාශයට යටවන භූමියේ කැණීම් කටයුතු ආරම්භ කිරීම තව දුරටත් පමාවන බව වාර්තා වේ . එම ප්‍රදේශයේ කැණීම් සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය අත්‍යාවශ්‍ය වන අතර මේ දක්වා එම දෙපාර්තමේන්තුව ඊට සිය එකඟතාවය පලකර නැති බව වාර්තා වේ .

මෙම භූමියේ මැණික් පවතින බව අනාවරණය කර ගැනීමට හැකි වී ඇත්තේ රුපියල් හත් ලක්ෂ පනස් දහසක් පමණක් වැය කරමින් 2021 වසරේ දී කළ ව්‍යාපෘතියක් මගිනි . එම වසරේ දී කැරට් හයසියයක පමණ මැණික් හමු වී තිබිණි. අවම බලපෑමක් යටතේ කැණීම් කර මැණික් ඉවත් කර ගත හැකි ඉල්ලම් සහිත ස්ථාන ද මේවන්ම විට හඳුනාගෙන තිබේ.

එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එකඟතාව නොලැබීම මත එම කැණීම් කටයුතු නතර කිරීමට අධිකාරියට සිදු විය . එම ප්‍රදේශය ආශ්‍රිතව රුපියල් බිලියන දහයක පමණ මැණික් ඇති බවට හඳුනා ගැනීම නිසා දෙවන වරටත් කැණීම් සඳහා අවසරය ඉල්ලා ඇතත් මේවන තුරු එය ලැබී නැතිබව ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ග පවසයි .

අධිකාරියේ ඉල්ලීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව එකඟ නොවුව ද එම කාලයේ සිට ම එම ප්‍රදේශය ආශ්‍රිතව විශාල වශයෙන් අනවසර කැණීම් සිදු වන බව වාර්තාවේ .