වත්මන් රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව වංචා හෝ දූෂණ චෝදනා එල්ල කිරීම, සඳ තරණය කිරීම තරම් දුෂ්කර කටයුත්තක් වනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී අද පැවසීය .
බාල ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, “මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට වංචා දූෂණ චෝදනා එල්ල කරන්න නම් ආර්ටෙමිස් 3 හදාගෙන හඳට ගිහිල්ලා ගොඩ බැහැලා එන්න වෙයි” යනුවෙනි.
ගල්අඟුරු සැපයීමේදී සිදුව ඇති බව කියන ගුණාත්මක තත්ත්වයේ වෙනස්කම් සම්බන්ධයෙන් රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඒ අනුව අදාළ සමාගම්වලින් ඩොලර් මිලියන 17 ක දඩ මුදලක් අය කර ගැනීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව මත කිසිදු ආකාරයක විදුලි බිල වැඩිවීමක් සිදු නොවන බවට ඔහු සහතිකයක් ලබා දුන්නේය.
වසර 15 ක් පුරා පැවති දූෂිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය වත්මන් රජය විසින් නිවැරදි කරමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මින් ඉදිරියට පමණක් නොව 2010 වසරේ සිට මෙරටට ගෙන්වා ඇති ගල්අඟුරු නැව් 462 ම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව ප්‍රකාශ කළේය.