වසර 25 ක් පුරාවට නොසැලෙන විශ්වාසය, අඛණ්ඩ වර්ධනය සහ විශිෂ්ට පාරිභෝගික සේවය වෙනුවෙන් නම් දැරූ, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන HNB Assurance PLC සමාගම සිය රජත සංවත්සරය සනිටුහන් කරමින් සමාගමේ නව ආයතනික අනන්‍යතාවය එළිදැක්වීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව HNB Assurance PLC සමාගම ‘HNB Life PLC’ ලෙසින් නව ගමනක් අරඹන අතර සිය නව සන්නාම අනන්‍යතාවය හරහා සුරක්ෂිත බව සහ නිදහස තහවුරු කරමින් සේවාලාභීන් සවිබල ගැන්වීමට ඇති සිය කැපවීමත්, සමාගමේ උපායමාර්ගික ඉදිරි දැක්මත් පිළිබිඹු කිරීමට සමාගම කටයුතු කර ඇත.
හුදෙක් වෙළඳ නාමයේ හෝ පෙනුමෙහි වෙනසකට සීමා නොවූ HNB Life නව සන්නාම අනන්‍යතාවය, පසුගිය වසර කිහිපය තුළ ශීඝ්‍ර වර්ධනය, ශක්තිමත් වෙළඳපල ස්ථාවරත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය බව යන අංශයන්ගෙන් සමාගම අත්පත් කරගත් සාර්ථකත්වය මත පදනම්ව සිදුකළ සැලසුම් සහගත උපායමාර්ගික පරිවර්තනයකි.
පියාපතක හැඩය ආශ්රයෙන් නිර්මාණය කර ඇති HNB Life නව ලාංඡනය මඟින් පාරිභෝගිකයින් සවිබල ගැන්වීමේදී සමාගම ඉටුකරන ක්‍රියාකාරී භූමිකාව සංකේතවත් කරයි. තමන් කැමති පරිදි, තමන්ගේම අරමුණු කරා විශ්වාසයෙන් යුතුව ගමන් කිරීමට පුද්ගලයින් හට අවශ්‍ය සහයෝගය ලබා දීමට ආයතනය දක්වන කැපවීම එයින් පිළිබිඹු වේ.
ප්‍රධාන පාර්ශවකරුවන්, උපායමාර්ගික ව්‍යාපාරික හවුල්කරුවන්, හිතවතුන් සහ සේවක පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු විශේෂ උත්සවයකදී මෙම නව අනන්‍යතාවය නිල වශයෙන් එළිදක්වන ලදී.
එහිදී අදහස් දක්වමින් සභාපති ස්ටුවර්ට් චැප්මන් මහතා මෙම පරිවර්තනයේ වැදගත්කම අවධාරණය කළේය. “අපගේ 25 වසරක ප්‍රගතිය සනිටුහන් කරන මෙම අවස්ථාවේදී, HNB Life ලෙස අප සිදුකරන පරිවර්තනය අපගේ පාරිභෝගිකයින්ගේ සහ වෙළඳපොළේ වෙනස් වන අවශ්‍යතා සමඟ ඉදිරියට යාමේ උපායමාර්ගික අභිලාෂය පෙන්නුම් කරන්නකි. මෙම නව අනන්‍යතාවය හරහා පුද්ගලයින් හට තමන් සැබෑ ලෙසම අපේක්ෂා කරන දේ ආරක්ෂාව සහ විශ්වාසය සහිතව අත්පත් කරගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දීම අපගේ අරමුණයි. පසුගිය දශක දෙකහමාරක කාලය තුළ අප ගොඩනැගූ ශක්තිමත් පදනම පිළිබඳව අප ආඩම්බර වන අතර අනාගතයේ අපට අත්පත් කරගත හැකි සාර්ථකත්වයන් පිළිබඳව අපි ඉතා උදෑයෝගයෙන් පසුවන්නෙමු” යැයි ඔහු පැවසීය.
‘ඕනෑම අවස්ථාවකදී, ආරක්ෂාව සහ දියුණුව කරා යාමට ඇති නිදහස සමඟින් ජීවිත සවිබල ගැන්වීමේ ප්‍රමුඛයා වීම’ HNB Life සමාගමේ නව දැක්මයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ චැප්මන් මහතා ප්‍රකාශ කළේ, “මෙම දැක්ම හුදෙක් වචන එකතුවක් නොව අපගේ ඉදිරි ගමන මෙහෙයවන මාලිමාවකි. ඒ වගේම අපේ නව සන්නාම අනන්‍යතාවය, වෙළඳනාමයේ සහ ලාංඡනයේ පෙනුමේ වෙනසක් පමණක් නොවේ. එයින් සංකේතවත් කෙරෙන්නේ වඩාත් තියුණු දැක්මක් සමඟින් අනාගතය ජයගැනීමට අපට ඇති අධිෂ්ඨානය සහ අප හා සබැඳි සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටුවන, සමෘද්ධිමත් අනාගතයක් උදා කිරීමට අපේ ඇති කැපවීමයි. රක්ෂණය යනු සැමට සරල, පහසුවෙන් ප්‍රවේශ විය හැකි මෙන්ම මෙරට ජනතාවගේ දෛනික අභිලාෂයන් සමඟ බැඳුණු දෙයක් බවට පත් කිරීම අපේ අරමුණයි”.
සමාගමේ අනාගත ගමන් මඟ පිළිබඳව අදහස් දක්වමින් විධායක අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න මහතා මෙසේ පැවසීය: “පසුගිය වසර පහ තුළ අප අත්පත් කරගත් සාර්ථකත්වය නිසා ඉදිරියේදී වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට හැකි ශක්තිමත් ස්ථානයක අප පසු වෙනවා. වර්තමානයේදී අපේ අවධානය ප්රමුඛ වශයෙන් යොමු වී තිබෙන්නේ HNB Life සමාගම පාරිභෝගිකයින් හට අර්ථවත් සහ කාර්යක්ෂම අත්දැකීමක් ලබා දිය හැකි, ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු ආයතනයක් බවට පත් කිරීමටයි. මෙම පරිවර්තනය හරහා ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකය තුළ වඩාත් සාර්ථකව සහ ප්රතිචාරාත්මකව කටයුතු කිරීමට අපට ඇති හැකියාව තහවුරු වෙනවා”.
අපගේ සේවක මණ්ඩලය මෙම ගමනේ කේන්ද්‍රස්ථානය වන බවත්, ඔවුන්ගේ දායකත්වය අතිශයින් වැදගත් බවත් ඔහු තවදුරටත් අවධාරණය කළේය.
“පසුගිය වසර 25 පුරා අපගේ වර්ධනයට සහ සාර්ථකත්වයට විශාල ශක්තියක් වූ අපගේ මව් සමාගම වන හැටන් නැෂනල් බැංකුවට (Hatton National Bank PLC) මෙන්ම අපගේ බැංකු හවුල්කරුවන්ට, තැරැව්කරුවන්ට සහ සියලුම ව්‍යාපාරික හවුල්කරුවන්ට මාගේ අවංක කෘතඥතාව පළ කරමි” යැයිද ඔහු පැවසීය.
ප්‍රධාන ඡායාරූපය :
HNB Life නව සන්නාම අනන්‍යතාවය එළිදැක්වූ මොහොත.