මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙනුවෙන් විද්වතුන් පෙරට එයි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) හමුවේ පෙනීසිටින ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට දැනුම් දී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකරමින් ලංකික බුද්ධිමතුන් පිරිසක් නිවේදනයක් නිකුත් කරයි .

කාන්තා අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ නියැළෙන ප්‍රාමාණික බුද්ධිමතුන් ක්‍රියාධරයන්, නීතීඥවරියන්, පුවත්පත් කලාවේදීන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් විසින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙනුවෙන් ඒකමතික සහයෝගීතා ප්‍රකාශයට අත්සන් තබමින් ඒ බව සඳහන් කර ඇත.

දේශමාන්‍ය රාධිකා කුමාරස්වාමී, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ආචාර්ය සුභාංගී හේරත්, ආචාර්ය රේණුකා පතිරණ, ජී.යු.එස්. ගුණවර්ධන, ශ්‍රීයානා පෙරේරා, උදයංගනී දළුවත්ත, ජීවනී කාරියවසම්, කුමුදුනී සැමුවෙල්, සරීනා රහීම්, සුහාරා අසීස්, දීගු මුණසිංහ, කාන්තා ක්‍රියාකාරී පුෂ්පා රම්ලිනි රත්නායක, සරෝජා ශ්‍රිවචන්ද්‍රන්, ශ්‍රී සෙරීන් සේවියර්, විශාකා ධර්මදාස. විද්‍යා පෙරේරා, නිර්මලී වික්‍රමසිංහ, සාවිත්‍රි රෝඩ්‍ර්ගු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆෙරියල් අශ්රොෆ් ඇතුළු සමාජ ක්‍රියාහාරිනියන් පිරිසක් සිය අත්සන් එකතුකර ඇත .

මෙම ක්‍රියාවලිය, මූලික වශයෙන් දේශපාලනයට සම්බන්ධ ඇගේ සැමියා වන හිටපු ජනාධිපතිවරයා පිළිබඳ කේන්ද්‍රගත වූ ක්‍රියා පටිපාටිවලට ඇදී යන බව පෙනෙනා බැවින් එය දැඩි කනස්සල්ලක් ඇති කරවන බව ඕවුහු පවසති . මෙවැනි ක්‍රියා මගින් ස්වාධීන ශාස්ත්‍රඥයින්ට අනවශ්‍ය හිරිහැර, බිය ගැන්වීම් හෝ කීර්ති නාමයට හානියක් නොවන බවට වග බලා ගන්නා ලෙසත් ඔවුහු අදාළ වගකිවයුතු පාර්ශව සහ ආයතන වලින් ඉල්ලා සිටිති .

අධ්‍යයන නිදහස, ආයතනික ස්වාධීනත්වය සහ දේශපාලන පළිගැනීම්වලින් විද්වතුන් ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය අංගයක් බවද එකී ප්‍රකාශනය මගින් අවධාරණය කර තිබේ.