නතාෂා එදිරිසූරිය අත් අඩංගුවට ගත්තාට සී.අයි.ඩි ය සොරි කියයි.

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්.එම්.යූ. සුබසිංහ අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇයට ලිඛිතවම සිය කණගාටුව ප්‍රකාශ කළේය .

එමෙන්ම මෙම පනත යටතේ සිදුකරන නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත සති දෙකක් ඇතුළත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනලදි .

මෙම නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු පී. පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහු සිය කණගාටුව පලකර සිටියේය . පෙත්සම්කාරියද එකී චක්‍රලේඛණයේ මාර්ගෝපදේශ පිළිබඳ පරීක්ෂා කර ඊට සිය එකඟතාව පළ කළ බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දනුම්දෙන ලදි.

එමෙන්ම නතාෂා එදිරිසූරියව 2023 මැයි 27 වන දින සිදුකළ අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම මෙන්ම, ඒ හරහා ඇයගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදුවූ හානිය මෙන්ම ඇයට ඇති වූ මානසික පීඩාවන් පිළිබඳව බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද අත්අඩංගුවට ගත් නිලධාරියා සිය ලිපියේ සඳහන් කර ඇත .

ඉන් අනතුරුව නඩු කටයුත්ත මෙලෙස සමථයකට පත් කරමින් අවසන් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විවෘත අධිකරණයේදී නතාෂා එදිරිසූරිය වෙත සිය ඇගයීම පළ කළේය .

මෝඩ අභිමානය නැමැති ප්‍රහසන ප්‍රසංගය මගින් සිදුහත් චරිතයට අපහාස කරන ලදයි නතාෂා එදිරිසූරිය 2023 මැයි මස 27 දින අත් අඩංගුවට ගනු ලැබීය .