මුම්බායි ගුවන් තොටුපලේදී ගුවන් යානා දෙකක පියාපත් ගැටෙයි

මුම්බායි ගුවන් තොටුපළේ ධාවන පථයක් මත මගී ගුවන් යානා දෙකක පියාපත් එකිනෙක ගැටීම නිසා එම යානා දෙකේ සිටි මගීන් ඉවත් කිරීමට සිදුව ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . ඉන්දියාවේ සිවිල් ගුවන් සේවාය මේ වන විටත් අදාල සිදුවීම ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇතිබව්ද එම මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි .

ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCA) පැවසුවේ ගුවන්ගතවීමට සුදානමින් සිටි එයාර් ඉන්දියා ගුවන් යානයක් සහ මුම්බායි ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමෙන් පසු සමාන්තර මාර්ගයක ගමන් කරමින් සිටි ඉන්ඩිගෝ ගුවන් යානයක් එහි පියාපත් මෙලෙස ගැටී ඇති බවයි . යානා දෙකෙහිම දකුණු පියාපත් මෙලෙස ගැටී ඇතිබව ඔහු පවසයි .

මෙම සිදුවීමෙන් මගීන් සහ කාර්ය මණ්ඩලයට තුවාල සිදුව නැති මුත් එම එයාර් බස් A320 ගුවන් යානා දෙක පරීක්ෂාව සඳහා රඳවාගෙන ඇති බව මුම්බායි ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කරයි .

එයාර් ඉන්දියා ගුවන් යානය දකුණු ඉන්දියාවේ කොයිම්බතූර් බලා පිටත් වීමට නියමිතව තිබූ අතර, ඉන්ඩිගෝ ගුවන් යානය හයිද්‍රාබාද් නගරයේ සිට පැමිණ ඇති බව ගුවන් සමාගම් පැවසීය. මෙම සිදුවීම පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සිදුව ඇත.