ආණ්ඩුව මුදල් ඉතුරු කරගන්නේ සංවර්ධන වැඩකටයුතු නතර කිරිමෙන්

මහා භාණ්ඩාගාරය මුදලින් පිරි ඉතිරී පවතින බවට පාලකයින් ප්‍රකාශ කළද, සැබෑ ආර්ථික තත්ත්වය ඊට වඩා වෙනස් බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි.

සියත රූපවාහිනී නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසූවේ රටේ අතිරික්තයක් පවතින්නේ නම් එළඹෙන වසර සඳහා රුපියල් බිලියන 1741ක ණයක් ලබා ගැනීමට රජය සැලසුම් කරන්නේ මන්දැයි ප්‍රශ්ණයක් මතුවෙන බවයි .

ආණ්ඩුව පෙන්වන මෙම මූල්‍ය අතිරික්තය ඇති වී තිබෙන්නේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කළ මුදල් වියදම් නොකිරීමෙන් බව කරුණානායක හිටපු මුදල් අමාඅත්‍යවරයා පෙන්වා දෙයි.

2024 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ රුපියල් බිලියන 1354න් වියදම් කර ඇත්තේ බිලියන 784ක් පමණක් බවත්, ඉතිරි මුදල් වියදම් නොකර තබා ගනිමින් ව්‍යාජ අතිරික්තයක් පෙන්වන බවත් ඔහු සඳහන් කළේය.

මෙවැනි අතිරික්තයක් පවත්වාගෙන යාම සඳහා විශාල ‘ආවස්තික වියදමක්’ දැරීමට සිදුවන බවත්, රුපියල්වලින් ගත් කල එය බිලියන 111.3ක් පමණ වන බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ආර්ථික වර්ධනය සහ ආයෝජනවල පසුබෑම සැබෑ සංවර්ධනයක් ඇති වීමට නම් දේශීය නිෂ්පාදිතය ඉහළ මට්ටමක වර්ධනය විය යුතු නමුත් වත්මන් ආර්ථික ගමන් මඟ තුළ එවැනි වර්ධනයක් දැකීම දුෂ්කර බව ඔහු පැවසීය.