රනිල්ට විකල්පය සජිත් ද. 

දක්ෂිනාංශික කඳවුර බිමට සමතලා කරමින් වමටත් නැති දකුණටත් නැති අණ්ඩුවක් බිහිවී වසරක් ගෙවේ. සිස්ටම් චේන්ජ් කරන්නට දස අතේ පොරොන්දු වී පැමිණි මේ ආණ්ඩුව කරනවාකී කිසිම වෙනසක් කරන්නට තවමත් සිතාවත් නැත. එදා අන්ත දක්ෂිනාංශික රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ තනි අසුනක් තියාගෙන සිදුකළ සිස්ටම් චේන්ජ් එකට මුවාවී යන්තම් තම නිරුවත වසාගෙන සිටිනා මේ ආන්ඩුව මෙතරම්වත් යහතින් සිටිනුයේ පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ක්‍රියාත්මක විපක්ෂයේ අබල දුබල කම් නිසාය .

ජනතාව මේවනවිටත් ආණ්ඩුවට විකල්පයක් සොයමින් සිටී . එය තව මාස කිහිපයකින් වීථි බසිනා විරෝධයක් දක්වා වර්ධණය කරවිය හැකි විපක්ෂයක් මේ මොහොතේ අවශ්‍යව තිබේ. එහෙත් සජිත් ගෙන් හෝ ස.ජ.බෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහටු ඉල්ලීමට දෙවෙනි නැත . ඒ සඳහා දක්ෂිනාංශික මතවාදය ඉදිරියට ගෙනයා හැකි පුළුල් විපක්ෂ සන්ධානයක් මේ වන විට බිහිව තිබිය යුතුය. එහෙත් එවැන්නකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවමත් සූදානම් නැත .  එ.ජා.ප ය සහ ස.ජ.බ පෝරුවට නංවන්නට ඇතැමුන් සිහින දකින්නේ එවන් පසුබිමක් තිබියදීය .

එ.ජා.ප ය හා එක්වන්නට ස.ජ.බේ බහුතර එකඟය . ඒකෙත් රනිල්ගේ නායකත්වයෙන් යුත් එ.ජා.ප ය සමග එක්වීමට සජිත් කැමති නැත. ස.ජ.බේ සිටිනා අග මුල නැති දේශපාලනික ඕපපාතිකයන්ද ඊට එකඟ නැත . රනිල් වැන්නෙක්ගේ නායකත්වයෙන් පිහිටවන ආණ්ඩුවක එවැන්නන්ට පැවැත්මක් නැත. එහෙයින්  රනිල් විරෝධී පුවරු අතට දී සජිත් පෙරමුණට  එළවන්නට ඕවුහු කටයුතු කරති . එහෙයින් එකතුවෙන්නට නම් රනිල් ඉවත් වියයුතු බවට ඕවුහු කොන්දේසි පනවති . මෙය සමකළ හැක්කේ මාළිගාවට එන්නටනම් රජතුමා  ඉන් නික්මයායුතු බවට අන්දරේ දමනා කොන්දේසියකටය . එහෙත් ස.ජ.බේ සිටිනා හර්ෂ, එරාන්, කබීර් වැන්නෝ මෙවැනි කොන්දේසි දමන්නෙ නැත . ඒ ඕනෑම ආණ්ඩුවක ඔවුනට වැඩ පෙන්විය හැකි බැවිනි .

දැන් තත්ත්වය භයානකය . පක්ෂ දෙක එක්වීමට ඇති බාධාව තමානම්, පක්ෂ නායකත්වයෙන්  ඉවත්වීමට රනිල් කැමති බව වාර්තා වේ. රනිල්ගේ ඉවත් වීම පක්ෂයක් නොවන්නේ වඩා හොද විකල්පයක් ඇතිනම් පමණි . එහෙත් සජිත් යනු රනිල් ලඟ තියන්නටවත් බැරි දේශපාලන රූකඩයකි . ඒ අනුව රනිල් ඉවත්කර සජබ සමග එක්වීමෙන් එජාපයට හෝ රටට වැඩක් වෙන්නේ නැත .

රනිල් දේශපාලනයේ සර්ව නිර්දෝෂී චරිතයක් නොවේ. තවත් ආකාරයකින් කියන්නේනම් රනිල් දේශපාලනිකව යම් තරමකට අසාර්ථකය. ඊට හේතුව ඔහු ජනප්‍රිය තීන්දු ගැනිමට වඩා නිවැරදි තීන්දු ගැනීමට මුල් තැන දීමය . දේශපාලන වශයෙන් දුර්වල වුවද රාජ්‍යතාන්ත්‍රික් භාවිතාව අතින් රනිල් ඉන්නේ ඉහළම හිනි පෙත්තේය . ඔහුට අලගු තියන්නටවත් කිසිවෙක් වර්තමාන ශ්‍රී ලංකාවේ නැත . රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස රනිල් ඊළඟ පරම්පරාව දෙස බලා තීරණ ගනිද්දී වර්තමාන ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවෙත් විපක්ෂයේත් බහුතරයක් තීරණ ගන්නේ ඊළඟ මැතිවරණය දෙස බලාය.  ශ්‍රී ලංකාවේ ඊළඟ වසර පහ ඇත්තේ බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රික තීරණ මත මිස ඊළඟ මැතිවරණය දෙස බලා තීරණ ගන්නා නත්තල් පප්ලා මත නොවේ. 

 අප තෝරාගත යුත්තේ නිවැරදි තින්දු ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයද, ජනප්‍රිය දේශපාලන තීන්දු ගන්නා දෙශපලනඥයාද. තීරණය ඇත්තේ ජනතාව අතේය .