ඖෂධ ආනයනය කිරීම කිසිම විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත සිදුකරන ක්‍රියාවලියක් නොවන බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ පැවසීය . ඔහු මේ බව පැවසූවේ ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නත ලබාදීමෙන් පසු මියගිය රෝගීන් දෙදෙනාගේ මරණ පිළිබඳව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි .
එහිදී වැඩි දුරටත් අදහහ්ස් දක්වූ ආචාර්ය මනුජ් සී වීරසිංහ මෙසේ පැවසීය .
“ඇමතිවරු හෝ රජයන් මත නොවෙයි ඖෂධ ලංකාවට ආනයනය සිද්ධ වෙන්නේ. එය ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතුයි. අමාත්‍යංශයක් විදියට කාර්ය භාර්යයක් තියෙනවා. අවුරුද්දක් පාසා අවශ්‍ය වාර්ෂික සැපයුමට අදාළ ටෙන්ඩරය ප්‍රසම්පාදනය කිරීම සඳහා ඖෂධ සංස්ථාවට ලබාදීම. ඒ අනුව ඒ කාර්ය සිදුවෙනවා අදාළ ප්‍රසම්පාදන කමිටු කාර්ය අනුව.
2022 ටෙන්ඩරයක් ගියා, 2025 ටෙන්ඩරයක් ගියා. 2025 ටෙන්ඩරය එන්නේ 2024. 2025ට බෙහෙත් අවශ්‍ය නම් ඒ ටෙන්ඩර් එක දාන්නේ 2024. අඩුම තරමේ මාස 11ක විතර කාලයක් දැනට යනවා ඕඩර් එකක් දාලා ඖෂධ ටික රටට එන්න. ක්‍රමවේදය එහෙමයි.
ඕනේ ඕනේ වෙලාට කඩෙන් ගන්නවා වගේ ගන්න බෑ. ඒවා හදන්න ලොකු කාලයක් යනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්ය භාරයක් විදියටයි යන්නේ. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි”. ඔහු පැවසීය .
එහිදී අදහස් දක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසූවේ කොළඹ IDH රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගියේ ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නත ලබාදීම හේතුවෙන් ද යන්න සම්බන්ධයෙන් තවමත් නිෂ්චිතව පවසිය නොහැකි බවය .මියගිය රෝගීන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ලබාගත් සාම්පල මේ වනවිට පරීක්ෂණ තත්ත්වයේ පවතින බවද ඔහු එහිදී පවසීය .
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදුකරන බවද ඔහු පැවසීය .
එහිදී අදහස් දැක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආන්නද විජේවික්‍රම පැවසුවේ ප්‍රශ්නගත ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නතේ කාණ්ඩ 4 ක් රෝගීන්ට ලබාදීම තාවකාලිව නවතා දැමුවේ අදාළ රෝගීන් දෙදෙනා මියයාමට ප්‍රථමයෙන් බවය. කෙසේ වෙතත් මෙම මරණ දෙක වාර්තාවීමත් සමග එම ඖෂධයේ අනෙකුත් කාණ්ඩ ද තාවකාලික නවතා දැමූ බව ඔහු පැවසීය.
එමෙන්ම එම නිෂ්පාදන ආයතනයෙන් ආනයනය කර ඇති අනෙකුත් ඖෂධ 10 ක් භාවිත කිරීමද තාවකාලිකව නවතා දැමීට කටයුතු කර ඇති බව ඔහුද ප්‍රකාශ කළේය.