HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය ඩිජිටල් පාරිභෝගික සේවා පහසුව තවදුරටත් ඉහළ නංවමින් HNBGI NEXA සේවාව දියත් කරයි

මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය ඩිජිටල් සේවා ශක්‍යතාවය තවදුරටත් ඉහළ නංවමින්, මෑතකදී සිය නව ඩිජිටල් පාරිභෝගික සේවා සහකරු වන HNBGI NEXA චැට්බොට් සේවාව හඳුන්වා දීමට කටයුතු කළේය. විශේෂයෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ඩිජිටල් විසඳුම් හඳුන්වාදීම සම්බන්ධයෙන් කීර්තියක් උසුලන ප්‍රමුඛ පෙලේ ඉන්දීය තොරතුරු තාක්ෂණ සමාගමක් වන AccelTree සමඟ සහයෝගීතාවයෙන් නව සේවාව නිර්මාණය කර හඳුන්වාදීමට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් කටයුතු කර තිබිණි. 

ඒ අනුව www.hnbgeneral.com වෙබ් අඩවිය හරහා දැන් ක්‍රියාත්මක වන HNBGI NEXA චැට්බොට් සහකරු, පැය 24 පුරාම ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය රක්ෂණ සේවාවන් පිළිබඳව තොරතුරු ඉක්මනින් සහ පහසුවෙන් සපයමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් පාරිභෝගික සේවයේ ගුණාත්මකබව විශාල වශයෙන් ඉහළ නැංවීමට දායකත්වය දක්වා ඇත. HNBGI NEXA සේවාව හරහා බොහෝ දුරට ගනුදෙනුකරුවන් විසින් නිතර අසන ප්‍රශ්න සහ තොරතුරු විමසීම්වලට කාර්යක්ෂම පිළිතුරු සැපයීම සාර්ථකව සිදුකරන අතර ඉන් ඔබ්බට ගිය වැඩිදුර විස්තර සැපයීම අවශ්‍යවන අවස්ථාවන්හිදී 1303 ක්ෂණික ඇමතුම් අංකය හරහා නියෝජිතයෙකු හා සම්බන්ධ කිරීමට මග පෙන්වයි. මේ අයුරින් ඩිජිටල් තාක්ෂණය හරහා කාර්යක්ෂමව තොරතුරු සැපයීමත්, නියොජිතයෙකුගේ මැදිහත්වීම හරහා තොරතුරු ලබා දීමත් අතර සාර්ථක සමබරතාවයක් පවත්වා ගැනීමට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමත් වී තිබීම විශේෂත්වයකි. 

HNBGI NEXA සේවාව හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසීය, “HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් වශයෙන් අපි නිරන්තරයෙන්ම උත්සාහ දරන්නේ සරල, පහසුවෙන් ප්‍රවේශ විය හැකි මෙන්ම පහසුවෙන් භාවිතා කළ හැකි සේවාවන් අපේ පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වාදීමටයි. සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වශයෙන් අප වෙත දෛනිකව විශාල තොරතුරු විමසීම් ප්‍රමාණයක් යොමු වෙනවා. ඒ සියළුපාරිභෝගිකයින්ගේ විමසීම් නිවැරදිව කළමනාකරණය කර, ඔවුන්ව අදාළ අංශයන් සමඟ සම්බන්ධ කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරගැනීම ඒ නිසා අපට ඉතාම වැදගත්. අපේ ඩිජිටල් පරිවර්තන උපාය මාර්ගයේ පළමු අරමුණ වන්නේ මේ ආකාරයට පාරිභෝගිකයින් හට පහසු කාර්යක්ෂම සේවාවක් සැලසීමයි. AccelTree සමාගම සමඟ එක්ව ඉතා සාර්ථකව HNBGI NEXA ඩිජිටල් තාක්ෂණ විසඳුම දියත් කිරීමට හැකි වීම අපි මේ අංශයෙන් ලද ජයග්‍රහණයක් වශයෙන් මා සළකනවා”. 

සිය digital-first උපාය මාර්ගික සැලසුමේ කොටසක් වශයෙන් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය කාර්යක්ෂම සේවා සැපයුම, මෙහෙයුම් වේගය සහ පාරිභෝගිකයින් වෙත ලබා දෙන පහසුව වර්ධනය කිරීම සඳහා අඛණ්ඩවම ආයෝජනය කරන අතර එම කැපවීම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරත්වය තහවුරු කරගැනීමට බොහෝ සෙයින් උපකාරී වී ඇත. 

AccelTree සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නීරජ් මල්හෝත්‍රා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ “HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම වෙනුවෙන් HNBGI NEXA සේවාව සාර්ථකව නිර්මාණය කර දියත් කිරීමට හැකි වීම අපි විශේෂ ජයග්‍රහණයක් වශයෙන් සළකනවා. ඒ අතරම සාමාන්‍ය රක්ෂණ සේවා ක්ෂේත්‍රය තුළ පාරිභෝගික සේවය සහ සේවා සැපයීම කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල් විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ඇති අපේ කැපවීම තවදුරටත් තහවුරු කළ අවස්ථාවක් වශයෙන් මේ ව්‍යාපෘතිය හැඳින්විය හැකියි. HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ අපේ සහයෝගීතාවය අඛණ්ඩවම පවත්වා ගෙන යාමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා වගේම ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයට විප්ලවීය නව්‍යකරණයන් රැසක් අපේ සහයෝගීතාවය හරහා හඳුන්වාදිමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යන්නයි. 

HNBGI NEXA සේවාව හඳුන්වාදීම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම අනාගතයට සූදානම්, පාරිභෝගික කේන්ද්‍රීය රක්ෂණ සමාගමක් වශයෙන් ලබා ඇති ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරන්නකි. ඒ ආකාරයටම  ඉදිරියේදීත් අඛණ්ඩවම හැකි සෑම තැනකටම ඩිජිටල් නව්‍යකරණ විසඳුම් හඳුන්වාදීම හරහා සිය පාරිභෝගික සේවයේ ගුණාත්මක බව වර්ධනය කිරීමට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම කැපවී සිටී.