සම්මත අංක තහඬු නැති වාහන 165,000 ක් පිළිබඳ තොරතුරු හෙළිවේ

වාහන අංක තහඩු නිකුත් කිරිමේ පමාව නිසා මාස පහකට ආසන්න කාලයක සිට අළුතින් ලියාපදිංචි කළ වාහන හිමියන් බරපතල අපහසුතාවයකට මුහුණ දී සිටිනා බව වාර්තා වෙයි. ඒ අනුව අළුතින් ලියාපදිංචි කළ වාහන හිමියන් 165,000 කට තම වාහනයේ අංක තහඩුව ලබා ගැනීමට අවම වශයෙන් තවත් මාස තුනක කාලයක් බලා සිටීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

පෙර සිටි අංක තහඬු සැපයුම්කරුගේ කොන්ත්‍රාත්තුව පසුගිය අප්‍රේල් මාසයේ අවලංගු කිරීම, නව ටෙන්ඩර් ක්‍රියාවලියට අදාළ ගැටලු සහ ආරක්ෂක ලක්ෂණ තහවුරු කිරීමේ ප්‍රමාදය නිසා මෙම තත්ත්වය උදාවී ඇත. අලුත් සැපයුම්කරුවකු සොයා ගැනීමේ ක්‍රියාවලිය ටෙන්ඩර් පටිපාටියේ තාක්ෂණික සහ ප්‍රසම්පාදන ගැටලු හේතුවෙන් ප්‍රමාද වී තිබෙන බව ද ආරංචිමාර්ග පැවැසුවේය.

නව අංක තහඩුව සඳහා විශේෂ ආරක්ෂණ ලක්ෂණ 7 ක් ඇතුළත් බවත්, ඒවා පරික්ෂා කිරීමේදී ඇති වූ ගැටලු අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වී අතිබව වාර්තා වේ.