වාහන මිල අඩු වෙයි .

වාහන ආනයනය සඳහා රජය අවසර ලබා දී මේ වන විට මාස 08කට ආසන්න කාලයක් ගත වී තිබේ. ඉකුත් ජනවාරි මස 28 වන දා රජය වාහන ආනයනය සඳහා අවසර ලබා දුන්නේ, වසර 05කට පසුව ය.

නව වාහන දේශීය වෙළෙඳපොළට පැමිණීමත් සමග වාහන මිල දී ගැනීමට ගනුදෙනුකරුවන් අතර ඉහළ උද්යෝගයක් පැවති අතර, එහිදී වාහන මිල ශීඝ්‍රයෙන් ඉහළ යන අයුරු දක්නට ලැබිණි.

නව වාහන ගෙන්වීමත් සමග මෙරට තුළ පාවිච්චි කරන ලද වාහනවල මිල ද ශීඝ්‍රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බවට බොහෝ ගැනුම්කරුවන් චෝදනා කර සිටියේ තමන්ට වාහනයක් මිල දී ගැනීමට අසීරු තත්ත්වයක් ඇති බව පවසමිනි.

වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දී මාස 08කට පසුව මෙරට වෙළෙඳපොළ තුළ වාහන මිල ගණන් විශාල ලෙස පහත වැටී ඇති බවට කතාබහක් පවතින අතර ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමක් කළේ ය.

එහිදී වාහන ආනයනකරුවෙකු වන සමීර වීරවර්ණ පැවසුවේ, මෙරට වෙළෙඳපොළ තුළ රුපියල් ලක්ෂ 100ක වටිනාකමින් අලෙවි වූ වාහනවල මිල මේ වන විට රුපියල් ලක්ෂ 5කි පමණ අඩු වී ඇති බව ය. එමෙන් ම, ලක්ෂ 200ක මිල පරාසය තුළ අලෙවි කෙරුණු වාහනවල මිල රුපියල් ලක්ෂ 15-10ත් අතර අගයකින් අඩු වී ඇති බව ද ඔහු පැවසුවේ ය.

“හේතුව ජපානයේ වාහන වෙන්දේසිවල ගණන් අඩු වෙලා තියෙනවා මොක ද අපේ අය වාහන මිල දී ගන්න එක අඩු කරලා තියෙන නිසා. අවුරුදු 05කට පස්සේ තමයි ලංකාවේ මාර්කට් එක ඕපන් වුණේ වාහනවලට. ඒ වෙලාවේ ලංකාවේ මාර්කට් එකේ ලොකු රික්තයක් තිබුණා වාහනවලට. දැන් ඒක අඩු වෙලා තියෙන්නේ. මේ නිසා වාහන මිලේ යම් අඩුවක් වෙලා තියෙනවා.”

”සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 100ක් වගේ ගාණකට විකුණන වාහනයක් දැන් ලක්ෂ 05කින් විතර අඩු වෙලා. ඒ වගේ ම ලක්ෂ 200කට වගේ අලෙවි වුණ වාහනයක මිල ලක්ෂ 10-15ත් අතර අගයකින් අඩු වෙලා තියෙනවා,” ඔහු පැවසුවේ ය.

ජපානයේ සිට මෙරටට වාහන ආනයනය කරන ලක්ෂ්මන් (සැබෑ නම නොවේ) වෙත පැවසුවේ, වාහන මිල දී ගැනීම සඳහා ගැනුම්කරුවන් අතර පවතින උනන්දුව අඩුවීම වාහන මිල ගණන් පහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බව ය.

“අවුරුද්දේ මුලදී වාහන ගේන්න ඉඩ දුන්න ම මාර්කට් එකේ ලොකු ඉල්ලුමක් ආවා වාහනවලට. අපිටත් අවුරුදු ගාණකට පස්සේ වාහන ගේන්න අවස්ථාව ලැබුණ නිසා වාහන ගොඩක් ගෙනාවා. හැබැයි දැන් මාස දෙකක වගේ ඉඳලා වාහන යන්නේ ගොඩක් අඩුවෙන්. මිනිස්සු වාහන ගන්න එච්චර උනන්දුවක් නැහැ කියලා තේරෙනවා,” ඔහු පැවසුවේ ය.

රජයේ රැකියාවක් කරන පුද්ගලයෙකුට වාහනයක් මිලදී ගැනීම සඳහා අවම වශයෙන් මුදලින් රුපියල් මිලියන 05ක් තමන් සතුව තිබිය යුතු බවත්, වාහනය මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඉතිරි මුදල වෙනුවෙන් ලීසිං පහසුකමක් ලබා ගත්තත් එය පවතින ආර්ථික තත්ත්වය අනුව දැරිය නොහැකි බවත් වාහන ආනයනකරුවෙකු වන ලක්ෂ්මන් පැවසීය.

“ආණ්ඩුවේ ජොබ් එකක් කරන කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 50කට අඩුවෙන් වාහනයක් ගන්න ගොඩක් වෙලාවට. හැබැයි මාර්කට් එකේ ඒ ගාණට ගන්න අලුත් වාහනයක් නැහැ. තියෙන වාහන ගණන් වැඩි නිසා ඒ අය ට්‍රයි කරන්නේ නැහැ ලීසිං එකක් දාලා රිස්ක් එකක් ගන්න. මේකත් එක පැත්තකින් හේතුවක් වාහන සේල් එක අඩු වෙන්න,” ඔහු පැවසුවේ ය.

මුදල් අමාත්‍යාංශය විසින් 2024 වසරේ දෙසැම්බර් මස 18 වන දා නිකුත් කරන ලද නිවේදනයට අනුව වාහන ගෙන්වීමේදී අනුගමනය කළ යුතු කොන්දේසි යටතේ ආනයනය කරනු ලබන මෝටර් වාහන ආයාත බිල් පත්‍රයේ/ රේගු සටහන්කරයේ (CUSDEC) දිනයේ සිට දින 90ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබේ.

දින 90ක් ඇතුළත ගැනුම්කරුගේ නමට ලියාපදිංචි කළ යුතු බවට වන නීතිය නිසා ඉදිරියේදී වාහන ආනයනකරුවන්ට යම් ගැටලුවක් පැන නගිනු ඇති බව ජපානයේ සිට මෙරටට වාහන ආනයනය කරන ලක්ෂ්මන් (සැබෑ නම නොවේ) කියා සිටියේ ය.

“මේ වෙද්දී මාර්කට් එකේ වාහනවලට ඇති ඉල්ලුම අඩු වෙලා නිසා ගේන වාහන සල්ලි කර ගන්න එක තමයි දැන් කරන්නේ ගොඩක් දෙනා. මම පහුගිය මාස දෙකේදී ගෙන්වපු වාහන 18ක් වගේ තියෙනවා තව විකුණන්න. ඊයේ මම එක වාහනයක් විකුණුවේ ලංකාවට ගේද්දී මිල වෙච්ච ගාණට වඩා රුපියල් ලක්ෂයක් අඩුවෙන්. මම ඒක එහෙම හරි දුන්නේ නැත්නම් මට තව කවුරු හරි බයර් කෙනෙක් එනකම් බලන් ඉන්න වෙනවා. අඩු ම තරමින් වාහනයක් ගැන අහලා දැන් කෝල් එකක් වුණත් එන්නේ අඩුවෙන්.”

‘අපි ලංකාවට ගේන වාහනයක් දවස් 90ක් ඇතුළත රෙජිස්ටර් කරන්න ඕන කස්ටමර්ගේ නමට. එහෙම වුණේ නැත්නම් අපිට ප්‍රශ්නයක් වෙනවා. දඩ මුදලක් ගහනවා. දැන් අපි කරන්නේ ගෙනාපු වාහන කොහොම හරි විකුණලා ඉස්සරහට දැන් මාර්කට් එක හැදිලා තියෙන විදිහට බිස්නස් එක කරගෙන යන එක,” ඔහු කියා සිටියේ ය.

මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ, වාහන ආනයනය සිදුකළ දිනයේ සිට දින 90ක් තුළ ලියාපදිංචි නොකළ වාහන සඳහා 3%ක දඩ මුදලක් අය කරන බව ය.

“අපි මේ වෙද්දී 3% දඩ මුදල් අය කිරීම් කරලා තියෙනවා. සමහර අය දින 90 පහුවෙලා ඊට පස්සේ මාසෙත් ගිහින් ආපු අය ඉන්නවා දඩ මුදල් ගෙවපු,” ඔහු පැහැදිළි කළේ ය.

මේ අතර, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග කළ විමසීමකදී කියා සිටියේ, වාහන මිල ගණන්වල සාමාන්‍ය ලෙස ඉහළ පහළ යාමක් පෙන්නුම් කරන බැවින් මේ වන විට වාහනයක් මිල දී ගැනීමට පාරිභෝගිකයින්ට ‘හොඳ අවස්ථාවක්’ උදා වී තිබෙන බව ය.

“කියන තරම් ලොකු මිලක් වාහනවල ගණන් වෙනස් වෙලා නැහැ. හැබැයි ගොඩක් අය බලන් ඉන්නවා ඉස්සරහට බජට් එක එන නිසා. ඒ නිසා වාහන ගන්න අය බලන් ඉන්නවා ටැක්ස් එකේ වෙනසක් වෙලා ගණන් අඩු වෙයි ද කියලා. හැබැයි ටැක්ස් එක වැඩි වෙන්න පුළුවන්. මේක හොඳ අවස්ථාවක් වාහන මිල දී ගන්න බලන් ඉන්න කෙනෙකුට වාහනයක් ගන්න,” ඔහු පැවසුවේ ය.

මේ අතර, වාහන මිල දී ගැනීමට අපේක්ෂාවෙන් පසු වන කිහිප දෙනෙකුගෙන් ද මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට කටයුතු කළ අතර එහිදී මිනුක ලක්ෂාන් කියා සිටියේ, වාහන ආනයනකරුවන් අසීමිත ලෙස ලාභ ලබමින් වෙළෙඳපොළ තුළ වාහන මිල ඉහළ නංවා තිබෙන නිසා එය අඩු වීම පාරිභෝගිකයින්ට සහනයක් බව ය.

“තව ම අඩු වෙලා තියෙන්නේ ලක්ෂ 5-10 වගේ ගණන්. හැබැයි යූස් කරපු වාහනත් අඩු වෙලා තියෙන්නේ ඒ විදිහට ම යි. තව ටික කාලයක් යද්දී නම් වාහනයක් ගන්න බලන් ඉන්න අපිට මීට වඩා අඩු ගාණකට වාහනයක් ගන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ආණ්ඩුව ටැක්ස් වැඩි කළොත් ඒ චාන්ස් එකත් නැති වෙනවා,” ඔහු පැවසුවේ ය.

මේ අතර, රජයේ රැකියාවක නිරත වන රුවන්ත (සැබෑ නම නොවේ) කියා සිටියේ, තවත් මිල පහළ යාමක් සිදුවුවහොත් තමන්ට සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් මිල දී ගැනීමට හැකි වනු ඇති බවට යම් බලාපොරොත්තුවක් ඇති බව ය.

“අලුතෙන් වාහන ආවත් ‍යූස් කරපු වාහනවල ගණන් අඩු වුණේ නැහැ. හැබැයි දැන් ටිකක් ගණන් අඩු වෙලා. බ්‍රෑන්ඩ් නිව් වාහන ගණන් තව අඩු වුණොත් මට සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. අඩු ම ගාණේ ඇල්ටෝ වාහනයක් හරි ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්,” ඔහු පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ වාර්තාවට අනුව 2025 වසරේ පළමු මාස 08 තුළදී වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 918ක් බව සඳහන් වේ.

පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව 2025 වසරේ අගෝස්තු මාසය තුළ වාහන ආනයනය සඳහා වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 249ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන්ව ඇත.

– BBC