ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA Racing 2025 පළමු අදියර රොතර්හැම් කටුකුරුන්ද ධාවන පථයේදී අති සාර්ථකව පැවත්වෙයි

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA Racing 2025 මෝටර් රථ තරඟාවලියේ පළමු අදියර පසුගියදා රොතර්හැම් කටුකුරුන්ද 1 ධාවන පථයේදී, දැවැන්ත ජනතා ආකර්ෂණයක් මධ්‍යයේ අති සාර්ථකව පැවත්විණි. ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් මෙම දැවැන්ත තරඟාවලියට ලබා දෙන ප්‍රධාන අනුග්‍රාහකත්වය ඉතා සුවිශේෂී වන්නේ වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ නැවත පිබිදීමක් ඇති කිරීමට එය වැදගත් දායකත්වයක් ලබාදෙන බැවිනි. 

ඉතා වර්ණවත් තරඟාවලියක් වූ SLADA Racing 2025 කටුකුරුන්ද අදියරයේදී කාණ්ඩ ගණනාවක් යටතේ තරඟ පැවපත්වුණු අතර එහිදී SL-GT 3500cc මෝටර් කාර් ධාවන තරඟයේ ජයග්‍රහණය මෙරට කීර්තිමත්ම ධාවකයෙක් මෙන්ම ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාම තානාපතිද වන අශාන් සිල්වා විසින් දිනා ගනු ලැබුණි. එමෙන්ම අශාන් සිල්වා තරඟාවලියේ හොඳම ධාවකයා වශයෙන්ද සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයකි. 

ඊට අමතරව ශ්‍රී ලාංකික මෝටර් ධාවන ක්ෂේත්‍රයේ අනාගතය සුබදායී බවට තහවුරු කරමින් තරඟාවලියේ අනෙකුත් අංශ ගණනාවක ජයග්‍රහණයන් අලුත්, නැඟී එන තරු විසින් දිනාගනු ලැබීම කැපී පෙනුණි. එහිදී විශේෂයෙන්ම මෝටර් සයිකල් අංශයේ කැපී පෙනෙන ජයග්‍රහණ අත්පත් කරගත්, එම අංශයේ හොඳම ධාවකයා වශයෙන් සම්මානයට පාත්‍ර වූ 14 හැවිරිදි චේනුක කල්දේරා වැනි තරඟකරුවන් සුවිශේෂී බව සඳහන් කළ යුතුය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී වෛතිලිංගම් කිරිතරන් මහතා මෙසේ පැවසීය, “ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA Racing 2025 තරඟාවලියේ රොතර්හැම් කටුකුරුන්ද අදියරය අති සාර්ථකව, දැවැන්ත ජනතා ආකර්ෂණයක් මධ්‍යයේ පැවත්වීමට හැකි වීම අපට විශාල සතුටක්. මෝටර් රථ ක්ෂේත්‍රය හා දැඩිව සම්බන්ධ සන්නාමයක් වශයෙන් අපි මෙම තරඟාවලියට දක්වන සහයෝගය වැදගත් වන්නේ මෙය හුදු තරඟාවලියකින් ඔබ්බට ගොස් දක්ෂයින්ට අත දෙන, විවිධ සමාජ කොටස් එකට එක් කරන, ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ ජීව ගුණය ඉහළ නැංවීමට සුවිසල් දායකත්වයක් දක්වන ඉසව්වක් නිසයි. SLADA Racing 2025 වැනි තරඟාවලියක සාර්ථකත්වයේ වගකීම දැරීම හරහා එවන් දැවැන්ත වෙනසකට මුල පිරීමට හැකි වීම අපට ආඩම්බරයක්.” 

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ඇතිව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවක රියදුරන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ඇතිව සංවිධානය කරන ලද රොතර්හැම් කටුකුරුන්ද 1 ධාවන තරඟාවලිය, ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ හදවත බඳු කටුකුරුන්දේ කීර්තිය මෙන්ම සමස්ත තරඟාවලියේම කීර්තිය නැවත තහවුරු කළ අවස්ථාවක් වශයෙන් දැක්විය හැකිය. 

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA Racing 2025 තරඟාවලියේ මීළඟ අදියර අගෝස්තු 30/31 සති අන්තයේදී සාලියපුර ගජබා/ SLADA සුපර්ක්‍රොස් තරඟ වටය ලෙසින් පැවත්වීමට නියමිත අතර ඉදිරි අදියරයන් නොවැම්බර් සහ දෙසැම්බර් මස පැවත්වීමට නියමිතය.