අදානිගේ බිස්නස් ගැන අනුරගේ අවධානය

අදානි සමූහය ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති ආයෝජනයන් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වමින්, ජනපති අනුර කුමාර දිසානායක මහතා India’s Economic Times සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී සඳහන් කළේ අදානි සමූහයේ ජාත්‍යන්තර ගනුදෙනුවලට වඩා ඔවුන් රට තුළ සිදු කරන කාර්යයන් සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරන බවයි.  

“අපට වැදගත් වන්නේ ඔවුන් අප සමඟ වැඩ කරන ආකාරය පමණයි.” යනුවෙන් ප්‍රකාශ කළ ජනපති දිසානායක මහතා, ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභවල තක්සේරුව මත ඉන්දීය ආයෝජන සඳහා සහයෝගී ස්ථාවරයක සිටින බව අවධාරණය කළේය. වි‌ශේෂයෙන්ම CWIT වැනි ව්‍යාපෘති හරහා සිදු වූ කලාපීය වරාය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද සඳහන් කරනු ලැබීය.

මෙය සාකච්ඡාවට ලක් වූයේ මීට පෙර එක්සත් ජනපද DFC මූල්‍යාධාර යටතේ දියත් කිරීමට සැලසුම් කළ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (CWIT) ව්‍යාපෘතිය, දැන් අදානි සමූහය විසින් ස්වයං මූල්‍ය යෝජනාවක් යටතේ ඉදිරියට යාම සඳහා සැලසුම් කිරීමෙන් පසුවයි.  

අදානි සමූහය විසින් CWIT වරාය ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 700ක් ස්වයං මූල්‍යගත කිරීමට ගත් තීරණය, සමූහයේ මූල්‍ය ශක්තිය මෙන්ම ශ්‍රී ලාංකික වෙළඳපොළ කෙරෙහි ඔවුන්ගේ ඇති කැපවීම ද පෙන්නුම් කරන්නකි.  

එක්සත් ජනපද DFC ණය පහසුකම යටතේ මීට පෙර ලබා දීමට යෝජනා වූ ඇ.ඩො. මිලියන 553ක ණය මුදල ප්‍රතික්ෂේප කිරීමෙන් ද පෙනී යන්නේ සමාගම සතු මූල්‍ය ස්වාධීනතාවයයි. ජනපති දිසානායක මහතා අදහස් දක්වමින්, “ඔවුන් එම ණය ප්‍රතික්ෂේප කිරීමෙන් පෙනී යන්නේ ඔවුන්ට ඒ සඳහා ඔවුන්ගේම ආදායම් මූලාශ්‍ර සහ අරමුදල් තිබෙන බවයි.” යනුවෙන් අදානි සමාගමේ මූල්‍ය ශක්තිය පිළිබඳ තහවුරු කරනු ලැබීය.  

CWIT ව්‍යාපෘතිය 2025 වසර මුල සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ වරාය යටිතල පහසුකම් සඳහා කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කරන ව්‍යාපෘතියක් ලෙස ද හඳුන්වා දිය හැකිය. 

සමබර ප්‍රවේශයකින් කරුණු දැක්වූ ජනාධිපතිවරයා, පාරිසරික කාරණා පිළිබඳ සැලකිලිමත් වෙමින්, බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද වැඩි දුරටත් ප්‍රකාශ කළේය. “මෙය තවමත් අධිකරණයේ විභාග වන කරුණක්. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තිබෙන වාසි සහ අවාසි වගේම ජනතා මතය ගැනත් මෙහිදී සැලකිල්ලට ගැනීමට අවශ්‍යයි. රටට ආයෝජන ලැබීම හා සමානවම පරිසර සාධක ගැන සිතා බැලීමත් ඉතාමත් වැදගත්” යනුවෙන් සඳහන් කළේය.  

විශේෂයෙන් අදානි සමූහ බලශක්ති ආයෝජනයේදී ජනපති දිසානායක මහතා සංවර්ධනය මෙන්ම පාරිසරික වගකීම් පිළිබඳව ද සමබරව සැලකිලිමත් වන බව පෙනී යයි . කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා අදානි සමූහය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳ තමා තුළ විශ්වාසයක් පවතින බවද සඳහන් විය.      

ජනපති දිසානායක මහතා, තම “ස්ථාවර රජයේ” ඉලක්කය වන්නේ, වඩාත් විභවයක් ඇති අදානි සමූහය සමඟ ඉදිරියේදී තවත් ඉන්දියානු ආයෝජන ව්‍යාපෘති සඳහා අවස්ථාවන් සලසා දීම බව ද සඳහන් කළේය. සාර්ථක ව්‍යාපෘතියක් වූ CWIT ව්‍යාපෘතිය ආදර්ශ කොට ගනිමින් අනාගත යටිතල පහසුකම් සංවර්ධනයත්, ජාත්‍යන්තර ප්‍රවීණයන් සමඟ දේශීය පාර්ශව සම්බන්ධ කළ හැකි ක්‍රමවේදයක් මේ තුළින් නිර්මාණය කළ හැකි බව ද එතුමා වැඩි දුරටත් සඳහන් කරනු ලැබීය.

කලාපීය ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයත්, අදානි සමූහය සතු ස්වයං මූල්‍ය උත්පාදනයට ඇති කැපවීමත් තුළින් පෙනී යන්නේ සමූහයේ මූල්‍ය ශක්තිය සහ ශ්‍රී ලංකාව ආකර්ශනීය ආයෝජන ගමනාන්තයක් බවට පත්වී ඇති බවයි.