රට රස්සා දෙන්න සල්ලි අරගෙන පැන්න ‘බද්දේගම ශ්‍රීලනිප සංවිධායකගේ’ නිවස ඉදිරිපිට විරෝධතා

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කර ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බව කියන බද්දේගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සංවිධායක මලිත් ගුණවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් බද්දේගම, නයාපාමුල ප්‍රදේශවල ජනතාව එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට ඊයේ (08වැනිදා) උද්ඝෝෂණයක් පැවැත්වූහ.

මෙම පුද්ගලයා විසින් ගාල්ල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාව, ජපානය, කොරියාව ඇතුළු රටවල රැකියා ලබාදෙන බව පවසා එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 20, 30 බැගින් විශාල පිරිසකගෙන් මුදල් ලබාගෙන ඇති බවද උද්ඝෝෂකයෝ සඳහන් කළහ.

මෙම පුද්ගලයා විශාල මුදල් ප්‍රමාණයක් වංචා කරලා තියෙනවා. අපේ ඉඩකඩම් උකස් කරලා, පොලියට සල්ලි අරගෙන මෙම පුද්ගලයාට මුදල් ගෙනැත් දුන්නා. මේ පුද්ගලයා දැන් ප්‍රදේශයෙන් පලා ගිහින්. ඉන්න තැනක් දන්නේ නැහැ. මේ මුදල් වංචාව පිටුපස තවත් අය සිටින බවට අප සැක කරනවා. මේ පුද්ගලයාට මේ දක්වා නීතිය ක්‍රියාත්මක වී නැහැ. මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයට, විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයටද පැමිණිලි කළා. මේ දක්වා අපට සාධාරණයක් ඉටුවී නැහැ. මේ සඳහා මැදිහත්වී ජනතාවට සාධාරණයක් ඉටුු කර දෙන ලෙස අලුත් ආණ්ඩුවේ ජනාධිපතිතුමාගෙන් සහ පොලිස්පතිගෙන් ඉල්ලා සිටිනවා.” යැයිද උද්ඝෝෂකයෝ සඳහන් කළහ.