ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ” Industry 2023 ” , ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය හා කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත් ලෙස එළඹෙන ජුනි 22, 23, 24, 25 සිව්දින පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
එහි සමාරම්භක උත්සවය සහ ප්‍රදර්ශනය පසුගිය අප්‍රේල් 27 දින වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී සිදුකෙරිණි.
ලෝකයම හතරවැනි කාර්මික විප්ලවය (The 4th Industrial Revolution ) නැතහොත් Industry 4.0, පසුකරමින් සිටින මොහොතක රටක් සංවර්ධනය කිරීමේදී කර්මාන්ත ක්ෂේත්රයට සුවිශේෂී ස්ථානයක් හිමිවන බව හදුනාගත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයක් ලෙසින් තුන් කාලත්‍රයේදීම ශ්‍රී ලංකාවේ කර්මාන්ත දිරිගැන්වීම, නගා සිටුවීම සහ සංවර්ධනය කිරීම අරමුණු කොට ගෙන අඩ සියවසකට අධික කාලයක් පුරා කර්මාන්ත අමාත්‍යංශය යටතේ මෙරට තුළ සුවිශේෂී කාර්ය භාරයන් රැසක් ඉටුකරමින් ක්‍රියාත්මකවීම සිදුවේ.
රාජ්‍ය , සංස්ථා , ව්‍යවස්ථාපිත ආයතන , පෞද්ගලික ආයතන , තානාපති කාර්යාල හරහා ජාත්‍යන්තර සබදතා ආදි බොහෝ ක්ෂේත්රයන් මෙම ප්‍රදර්ශන භූමියට එක් කිරීමට කටයුතු සැලසුම් කොට ඇති අතර එම කර්මාන්ත කරුවන්ට තෝරා ගැනීමේ ක්‍රමවේදයක් හරහා අවශ්‍ය මානව ශ්‍රම සම්පත් සොයා ගැනීමටද ප්‍රදර්ශන භූමිය තුළ අවකාශ සලසා දීම සිදුවෙයි. ප්‍රදර්ශන භූමියේ සමස්ථ ප්‍රදර්ශන කුටි ප්‍රමාණය 700කට අධිකව පැවතුණු බව වාර්තා වේ.
Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය වෙත අනුග්‍රාහකත්වය දක්වන ආයතන රැසක් සිය මූල්‍යමය දායකත්වය දැක්වෙන චෙක්පත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් අමාත්‍යවරුන් වෙත ප්රදානය කිරීමද සිදුකෙරිණි.
මෙම අවස්ථාවට විදේශ තානාපතිවරුන් , කර්මාන්ත අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර , වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජානක ධර්ම කීර්ති , අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරින් , ලංකා කාර්මික මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු විවිධ ආයතන ප්‍රධානීන් , නිළධාරින් , කර්මාන්ත අමාත්‍යංශයේ කර්මාන්ත උපදේශක සභාවන්හි සභාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් , මෙරට ප්රමුඛ කර්මාන්ත ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූ බව වාර්තා වේ.