මාලිමාව රට පුරා වෛරය වපුරමින් රටේ බලය ලබාගතහොත් අවසානයේදී රටට සිදුවන දේ ගැන ජනතාව සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
කැස්බෑව, පිළියන්දල, සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පෙරේදා (12) පැවති ‘රනිල්ට පුළුවන්’ ජන රැලිය අමතමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් එම ජනහමුවට එක්ව සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ,
“එදා අනුර කුමාරට භාර දුන් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ වගකීම නිසි ලෙස ඉටු කළා නම් අද රටේ කෘෂිකර්මාන්තය දියුණු වී තිබිය යුතුයි. ප්රතිපත්තියකින් තොරව වෛරය පමණක් වපුරන ඔහුගේ වැඩපිළිවෙළ රට විනාශය කරා ඇද දමනවා. සියල්ල නොමිලේ දෙන බව කියන සජිත් මේ වන විටත් පරාජය පිළිගෙන අවසන්. එබැවින් සජිත් ප්‍රේමදාසට සහ නාමල් රාජපක්ෂට දෙන ඡන්දය අනුර කුමාරට දෙන ඡන්දයක් බව ජනතාව අමතක නොකළ යුතුයි.
“ලබන සතිය අවසන් වන විට ඡන්දය දී තමන්ගේ අනාගතය තීරණය කිරීමට මේ රටේ ජනාතවට අවස්ථාවට ලැබෙනවා. ඒ මත ජනතාවගේත්, රටේත් අනාගතය තීරණය වෙනවා. වසර දෙකකට පෙර රටේ ජනතාවට ආහාර, ඉන්ධන, පොහොර සහ ඖෂධ නොතිබූ අවස්ථාවේ මේ එක නායකයෙක්වත් ජනතාවට ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර දීමට ඉදිරිපත් වුණේ නැහැ. එදා ඒ නායකයන් කොහෙද හිටියේ කියා මම අහනවා. අද ජනතාව ඉදිරියට පැමිණ ඡන්දය ඉල්ලා සිටියත් එදා ඔවුන් දකින්න වත් හිටියේ නැහැ. මේ රට දියුණු කිරීමේ සැලස්ම අප ජනතාවට ඉරිපත් කර තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
“එහෙත් හිටපු කෘෂිකර්ම ඇමැති අනුර කුමාර කියන්නේ තමන් මේවාට සම්බන්ධ නැති බවයි. අප එළවා, මාලිමාවට ඡන්දය දෙන්නැයි ඔවුන් කියනවා. මාලිමාවට ඡන්දය දුන්නොත් මොකද වෙන්නේ? ඩොලරය රුපියල් 400 දක්වා ඉහළ යනවා. ඩොලරය රුපියල් 370 වන විට දරාගන්න බැරි වුණා නම් එය 400–420 වන විට දරාගන්න පුළුවන්ද? කියා සිතිය යුතුයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව අයවැයක් හදලා දෙන්නැයි මම කිවුවා. ඔවුන්ගේ අය වැය පරතරය රුපියල් බිලියන 4,000යි. ඔවුන්ගේ අය වැය අනුව රුපියලේ අගය අඩු වෙනවා. එවිට ඩොලරය රුපියල් 420ට යනවා. එවිට මූල්‍ය අරමුදලේ සහාය ලැබෙන්නේ නැහැ. අද අනුරලා කතා කරන්නේ ගණන් වහලා. ඔවුන් ජනතාවට ඇත්ත කියන්නේ නැහැ. ‘උන් හොරු, උන් අයින් කරලා දාලා අපි බලය ගන්නවා’ කියනවා, ‘අපි හොරුන්ගෙන් මුදල් අය කරගන්නවා’ කියනවා.
“අපි දූෂණ විරෝධි නීතිය ගෙනාවා. මේ කටයුතු සඳහා එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මුදල් නැවත ලබාගැනීමට නම් අප තවත් පියවර කිහිපයක් ගත යුතුයි. අපරාධයකින් අත්පත් කරගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත අප ඉදිරිපත් කර තිබෙනවා. ඒක සම්මත කරගන්නා තෙක් මේ කටයුතු කරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ හොරු අල්ලන්න භාර දුන් ආනන්ද විජේපාල අවුරුදු තුනකින් හොයාගත්තේ මොනවාද? ඔහු නඩු දැම්මේ කාටද? කාගේ දේපළද ආපසු ගත්තේ? කියා මම අහනවා. ඒ නිසා මේ විදිහට බොරු පොරාන්දු දෙන්න එපා කියලා මම අනුර කුමාරට කියනවා. බදු අඩු කරන බවත් ඔවුන් කියනවා. ගෝඨාභය රාජපක්ෂ කරපු දේ ආපසු කරන්න අවශ්‍යද? මා කියන්නේ ජනප්‍රිය දේවල් නොවෙයි. මා සැම විටම ඇත්ත කියනවා. ඒ නිසා මේ අයවැය පරතරය පියවාගන්නේ කෙසේද කියා මාලිමාව රටට කිව යුතුයි.
“ඔබ සිතිය යුත්තේ ඔබේ සහ ඔබේ දරුවන්ගේ අනාගතය පිළිබඳවයි. නැත් නම් අපේ රටත් ග්‍රීසිය, ආර්ජන්ටිනාව වැනි තත්ත්වයට පත් වනවා. එය වළක්වා ගැනීමටයි මම මේ උත්සාහ කරන්නේ. රටත්, ආර්ථිකයත් බේරාගන්න සැප්තැම්බර් 21 දා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලනවා.” යනුවෙනි.