අනුරගේ කතාව නිසා තිබ්බ ඡන්ද ටිකත් නැතිවෙලා , 2024 ජනාධිපතිවරයා වෙන්නේ රනිල්ම තමයි” – විජයකලාගෙන් අනාවැකියක්

එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ දමිළ ජනතාවගේ විශාල ඡන්ද ප්‍රමාණයක් ඇති බැවින් අනිවාර්යෙන්ම ඔහුට ජයග්‍රහණය හිමි වන බව හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේස්වරන් මහත්මිය පවසනවා.

එසේම බොහෝදෙනෙක් පවසන්නේ 2022 වසරේ මේ රට ආර්ථික ප්‍රපාතයකට ඇදවැටුණු මොහොතේ ඔහු රට බේරාගත් කතාව පමණක් බවත් නමුත් යුද්ධය ප්‍රබලව පැවති සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡා කර සටන් විරාම ගිවිසුමකට ජනාධිපතිවරයා එළඹුණු බව දන්නේ උතුරේ ජීවත්වන ඔවුන් පමණක් බවත් ඇය ප්‍රකාශ කළා.

ඒ පෙරේදා (09) යාපනයේ සංගිලියන් උද්‍යානයේ පැවති රැස් වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය සඳහන් කළේ,

”බොහෝ දෙනෙකු මේ දවස්වල කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2022 වසරේ මේ රට ආර්ථීක ප්‍රපාතයකට ඇදවැටුණු අවස්ථාවේ ඔහු රට බේරාගත් කතාව පමණයි. ඒත් උතුරේ ජීවත් වන අප දන්නා කාරණයක් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා යුද්ධය ප්‍රබලව පැවති සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡා කොට සටන් විරාම ගිවිසුමකට ආවා. එක් වරටම මහා යුද්ධයක් නතර වුණා. එදා දෙපිරිස අතර අත්සන් කළ ගිවිසුම නිසා මිනිස්සු මැරෙන එක මිනිස්සුන්ට හිරි- හැර සිදු එන එක සම්පුර්ණයෙන්ම නැවතුණා. පසුකාලීනව යුද්ධය හමාර කිරීමට මහන්සි වුණු පිරිසට යුද්ධය හමාර කරන්නට මුලික අඩිතාලම දමා දුන්නේ රනිල් වික්‍රම සිංහ මහතාය කියන කාරණය දැන් විශාල පිරිසකට මතක නෑ.

එහෙත් යුද්ධයෙන් බැටකෑ උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට මේ ඉතිහාසය ඉතා හොඳින්ම මතකයි. ඒක නිසා ඔවුන් 2022 ගැන හිතනවට වඩා යුද්ධ කාලේ ඔවුන්ට ලැබුණු නිදහස් හිතලා එතුමාට ඡන්දය දෙනවා. ඒක නියතයි. අපට මේ ලැබිලා තියෙන්නේ රට යළි විශාල සංවර්ධනයක් කරා ගෙන යන්න පුළුවන් අවස්ථාවකුයි. ඒ අවස්ථාව ජනතාව හරියට තේරුම් නොගත්තොත් මේ රට යළි අවුරුදු පනහක පමණ කාලයකට ආපස්සට යනවා, ඒක විශාල අපරාධයක් බව සියලු දෙනාම තේරුම් ගත යුතුයි.

මම දෙමළ කාන්තාවක්. මගේ මහත්තයා මරාදැමීමෙත් ඒ අයමයි. එහෙම් නම් මමයි ජාතිවාදය ගැන කතා කරන්න ඕනෑ. එහෙත් අපි ජාතිවාදය සම්පුර්ණයෙන්ම පිටුදකිනවා, ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අනුර දිසානායක වගේ අය ජාතිවාදය තුළින් බලයට එන්න හදනවා. ඒක කවදාවත් වෙන්නේ නෑ අනුරගේ කතාවෙන් පස්සේ සිද්ධ වුණේ ඔහුට උතුරේ වැසියන්ගෙන් ලැබෙන්න තිබුණු ඡන්ද ටිකත් නැති වෙලා ගිය එක විතරයි. 2005 වසරේදීත් මේ උතුරේ අය මහා ලොකු විනාශයක් කරගත්තා. ඒ රනිටවත් කොටවත් ඡන්දය නොදී හිටපු එක. කොගෙන් හරි සල්ලි අරන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පාවා දීම නිසා තමයි එදා රනිල් වික්‍රමසිංහ පරාජයට පත් වුණේ.ඒ වර ඔහු එදා ජයග්‍රහණය කලා- නම් තත්ත්වය අද මීට වඩා වෙනස් වෙනවා මුළු උතුරම ගොඩාක් දියුණු වෙනවා. එදා කළ වරද ආයෙන් දෙමළ ජනතව කරන්නේ නෑ කියන එක විශ්වාසයි. ඔවුන් මේ සැරේ රනිල් මහත්තයාට විශල ඡන්ද ප්‍රමාණයක් ලබා දෙනවා. ඒක නිසා 2024 ජනාධිපතිවරයා වෙන්නෙත් රනිල් මහත්තයාම තමයි.” යනුවෙනි.