මෛත්‍රීගේ සභාපති ධුරය ගැන අධිකරණය දුන් නියෝගය

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළා.

එමෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සමත් අද දින කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබුවා.

එම නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ගොනුකරන ලෙස වග උත්තරකරුවන්ට දිසා විනිසුරුවරයා නියෝග කළා.

ඒ අනුව නඩුව නැවත ලබන 29 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, ජ්‍යේෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ උප සභාපති ෆයිසර් මුස්තාපා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පත්වීම එම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි බවත් ඔහු එම ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම පෙත්සම ගොනු කළා.