කුඩු සළිඳුව මරා දැමීමේ තැතක්

සංවිධානාත්මක අපරාධකරුවකු වන සලිඳු මල්ශික ගුණරත්න නොහොත් කුඩු සලිඳු මරා දැමීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව, එම සැකකරුගේ නීතිඥ ජාලිය සමරසිංහ මහතා පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (11) දන්වා තිබෙනවා.

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුවක් හරහා මැඩගස්කර රාජ්‍යයේ දී ඉකුත් 2023 මාර්තු 13 වැනිදා අත්අඩංගුවට ගත් පානදුරේ කුඩු සලිඳු නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ වසරක කාලයක් රැඳවුම් භාරයේ රඳවා තැබීමෙන් අනතුරුව පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා වෙත ඊයේ (11) ඉදිරිපත් කළ අවස්ථාවේ දී යි සැකකරුගේ නීතිඥවරයා එලෙස දන්වා සිටියේ.

එහි දී සැකකරුගේ නීතිඥයා උසාවියට පවසා තිබූ කරුණු ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණේ, මේ ආකාරයටයි.

‘‘ස්වාමීනි. මාගේ සේවාදායකයා මරා දැමීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඔහුව මරා දමන බවට සඳහන් කර තිබෙනවා. ඔහුට විරුද්ධව තිබෙන නඩු අහන්න වෙන්නේ ඔහු ජීවත්ව සිටියොත් පමණයි. මාගේ සේවාදායකයාට නිකම් මැරෙන්න බැහැ. ඒ නිසා පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පවතින බූස්ස බන්ධනාගාරයේ ඔහු රඳවා තැබීම ඔහුගේ ජීවිතයට කරන තර්ජනයක්. එපමණක් නොවෙයි මාගේ සේවාදායකයා මරා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට ඔහුගේ මව විසින් අංක 24999/23 යටතේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ද ඉදිරිපත් කර තිබෙනවා. මාගේ සේවාදායකයාගේ නඩු බොහෝමයක් මෙම අධිකරණයේ විභාග වන බැවින් මෙම බල ප්‍රදේශයට අයත් කළුතර බන්ධනාගාරයේ ඔහු රඳවා තබන ලෙස අධිකරණයෙන් කරන එකම ඉල්ලීම ලෙස ඉල්ලා සිටිනවා.’’

කෙසේ නමුත්, සැකකරු මෙම මස 25 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස, නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ආරක්ෂාව සහිත සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.

ඒ අනුව අදාළ සැකකරු ඊයේ දිනයේ දී ම බූස්ස බන්ධනාගාරය වෙත ගෙන ගොස් තිබෙනවා.