ඉන්දීය සයුර රකින්න ජනපති, ළමයි සමග පෙරට එයි

“අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවති “IORA” දින 2024 සැමරුම් උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වුණා.

ඉන්දීය සාගර වට අද්දර සංගමය හෙවත් “IORA” සංගමය 1997 වසරේ දී ස්ථාපනය වූ අතර මෙම වසරේ සමරනු ලබන්නේ එහි 27 වැනි සංවත්සරයයි.

කඩොලාන පරිසර පද්ධති ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සිදු කළ මුලපිරීම් හේතුවෙන් පසුගිය මාසයේ දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛතා ප්‍රතිනිර්මාණ සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර ශ්‍රී ලංකාව සාගර සංරක්ෂණය සහ එහි තිරසර සංවර්ධනය සඳහා කැපවී සිටින ප්‍රමුඛතම රටක් බවට පත්ව ඇති මේ මොහොතේ “IORA” දින 2024 සැමරුම ශ්‍රී ලංකාවේ පැවැත්වීම සුවිශේෂී තත්ත්වයක් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.

ක්‍රියාකාරකම් රැසක් සමඟ පාසල් සිසුන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වුණු අතර විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටි පාසල් සිසුන් සමඟ සුහද කතා බහකට එක්වූ ජනාධිපතිවරයා සංගමයේ සාමාජික රටවල තානාපති කාර්යාල මෙන්ම මෙරට රාජ්‍ය ආයතන විසින් ස්ථාපිත කර තිබු ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් වුණා.