ගාල්ල මාකුඹුර බස් ‘අද සිට’ කාලසටහනට පමණයි – 18 සිට වර්ජනයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල මාකුඹුර පුද්ගලික බස් රථ අද (11) සිට කාලසටහනට අනුව පමණක් ධාවනය කරන බව එම බස් රථ සංගමයේ ලේකම් නිලංග සඳරුවන් මහතා සඳහන් කළා.

මේ සම්බන්ධව මගී ජනතාවට සිදුවන අපහසුව පිළිබඳව කනග‍ාටුව ප්‍රකාශ කරන බවයි ඔහු පැවසුවේ.

“මේකට හේතුව තමා 2023 දෙසැම්බර් මස 18 වනදා අපිට ලබාදී තිබූ කාලසටහන සම්බන්ධයෙන් අපි විරෝධය පළ කළා. මේ සම්බන්ධයෙන් කිසිම තීරණයක් මෙතෙක් අරගෙන නෑ. මේ සම්බන්ධව මගී ජනතාවට සිදුවන අපහසුව පිළිබඳව කනග‍ාටුව ප්‍රකාශ කරනවා. අපි මේ වනතුරු මේ කාලසටහන ට ධාවනය වීම නොකර මගී ජනතාව වෙනුවෙන් අවශ්‍ය පරිදි බස් ධාවනය කරන්න කටයුතු කරපු කණ්ඩායමක්. කිසිම අවස්ථාවක මගීන් පෝම්වල රඳවා නොසිට අපි ධාවන කටයුතුවල නියැලුණා. නමුත් අපි පත්ව සිටින මෙම අපහසුතාවයට කිසිදු පාර්ශවයක් කටයුතු කළේ නෑ. ඒ නිසා මේ බස් රථ සියල්ල අකුරට පමණක් ධාවනය කරනවා. මෙම කාලසටහන වෙනස් කිරීමට බලධාරින් පියවර නොගත්තොත් අපි ලබන 18 වනදා සිට ගාල්ලෙන් ආරම්භ කරන බස් වර්ජනයක් දක්වා ගෙනියනවා.” යනුවෙන් නිලංග සඳරුවන් මහතා කියා සිටියා.