හැට වසරකක් යුග දිවිය ගතකර ‘එකට’ අවසන් ගමන් ගිය අම්මයි තාත්තයි(VIDEO)

හැට වසරකට ආසන්න යුග දිවියක් ගතකර පුතුන් දෙදෙනකු හා දියණියක දැයට දායාද කළ යුවළක එකම දිනයේ පැය දෙක තුනක් ඇතුළත දිවිසැරිය නිම කිරීමේ සිදුවීමක් දිවුලපිටිය බලගල්ල ගම්මානයෙන් වාර්තාවේ.

එකම දිනයේ මෙසේ යුග දිවි ගමන නිමා කළ මෙම යුවළ දිවුලපිටිය බලගල්ලේ ඩී. ආර්. ධර්මවර්ධන දිසානායක ( 85 ) සහ ප්‍රේමා බාලසූරියයි (82) .

බාඳුරාගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ දිසානායක දිවුලපිටියේ දේශපාලනඥයකු මෙන්ම ආරක්ෂක ඇමැතිවරයකු ලෙස කටයුතු කළ ලක්ෂ්මන් ජයකොඩිගේ සමීපතම අයකි.

වයෝවෘද්ධ භාවයට පත්වීමත් සමග ව්‍යාපාරික කටයුතුවලින් ඉවත්ව සිය බිරිඳ සමග දිසානායක බලගල්ල නිවසේ කාලය ගත කර ඇත.

ඉකුත් පළවැනිදා හදිසියේ අසනීප තත්ත්වයකට පත් වූ ප්‍රේමා බාලසූරිය රෝහල්ගත කර ඇති අතර ඇය රෝහල් ගත කිරීම නිසා දිසානායක දැඩි කල්පනාවේ සිටි බව ඥාතීහු සඳහන් කළහ.

එදිනම රාත්‍රි ප්‍රේමා බාලසූරිය මහත්මිය රෝහලේදී මරණයට පත් වී ඇති අතර ආදරණීය සැමියා ඇගේ මරණය සම්බන්ධයෙන් දැනුවත්ව සිට ද නැත. කෙසේ වෙතත් බිරියගේ වියෝවීම ඔහුට දැනෙන්නට ඇතැයි ඥාතීහු සැකපහළ කළහ. බිරියගේ මරණය සිදුවී පැය දෙක තුනක් යද්දී සැමියාද දිවිසැරිය නිමකර තිබුණේ ඔවුන් පතාගෙන ආ අන්දමට විය යුතුය.