මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඉවතට – අලුත් මුදල් ලේකම් දුමින්ද හුලංගමුව?

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන අය වැය අවසන්වීමෙන් පසුව එම තනතුරින් ඉවත් වීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ධූරයට පත්වූ ඔහු තවදුරටත් එම තනුරේ තබා ගැනීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කළේය.

එහෙත් අය වැය අවසන්වීමෙන් පසුව එම තනතුරින් ඉවත් වීමට ඔහු තීරණය කර තිබුණි. තවත් මාස තුනකින් ඔහුගේ විශ්‍රාම වසය එළඹෙන අතර සේවා දිගුවක් ලබා නොගෙන ඔහු ලේකම්ධූරයෙන් ඉවත්ව යාමට නියමිතය.

මුදල් අමාත්‍යාංශ ලේකම්ධූරයෙන් ඉවත්වීමෙන් පසු ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන විකල්ප අධ්‍යක්ෂධූරයේ වැඩ භාරගැනීමට නියමිතය.

මෙම කාර්යාලය පිලිපීනයේ මැනිලා නුවර පිහිටා තිබේ. තව මාස තුනකට පසුව පුරප්පාඩු වන මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය සඳහා ජනාධිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පත් කිරීමට යෝජනා වී ඇතැයි ද අනාවරණය වේ.