වත්මන් ආණ්ඩුව වෘත්තිය සමිති ක්‍ෂේත්‍රයේ දේශපාලන පලිගැනීම් ආරම්භ කර ඇතැයි ද පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් යැයි ද එහි ලේකම් බන්දුල සමන් කුමාර පැවසීය.
රාජ්‍ය ආයතන කිහිපයක ම වෘත්තිය ශාඛා සමිති නායකයන් අහේතුකව ස්ථාන මාරු කර ඇතැයි ද රාජ්‍ය ඉන්ජිනේරු නිර්මාණ නීතිගත සංස්ථාවේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ තත්ත්වය හොඳින් දැකිය හැකි බව ලේකම්වරයා චෝදනා කළේ ය.
තවත් ආයතන බොහොමයක කාර්යාල පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයට වෘත්තිය සමිති කාර්යාල වසා දමා ඇති බව ත් මේ ප්‍රශ්න නීති හමුවට නොගොස් විසඳා ගැනීමට තවමත් උත්සාහ කරන බව ත් ඔහු පැවසීය.
ලේකම්වරයා ප්‍රකාශ කළේ, වෘත්තිය සමිතිවලට සවන් දෙන ආණ්ඩුවක් නම් දැන්ම එම පියවර නතර කර සාකච්ඡාවට කැප විය යුතු අතර එවැනි ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකට වෘත්තිය සමිති ද සූදානම් බව ය.
පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමය යනු ගැටුම් ඇති කරගැනීමට කැමති වෘත්තීය සමිතියක් නොවන අතර වත්මන් ආණ්ඩුවේ තනතුරුවලට පත් වෘත්තිය සමිති නායකයන් ඒ බව හොඳින් ම දන්නේ යැයි ඔහු අවධාරණය කළේය.
කවර දේශපාලන මතවාදයක් දැරුවත් වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන වෘත්තිය සමිති නායකයන් බොහෝ දෙනෙකු පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය සමග එකට සටන් බිම්වල කටයුතු කළ බව ලේකම්වරයා පැවසීය.
ළදරු ආණ්ඩුවක් වුවද වෘත්තිය සමිති මර්දනයට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව වෘත්තිය සමිති පියවරට යෑමට වුව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය පසුබට නොවන්නේ යැයි ද ඔහු කීවේය.
.