මධුෂ්ක – කමිඳු ශ්‍රී ලංකා ‘ඒ’ පෙරට ගෙනෙති

නිශාන් මධුෂ්ක සහ කමිඳු මෙන්ඩිස්ගේ ශතක සබඳතාව හේතුවෙන් දෙවැනි සිවුදින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට එංගලන්ත ලයන්ස් පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 129ක් ඉදිරියෙන් සිටියේ කඩුලු 7ක් ද අතැතිවය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ලකුණු 73ක් පසුපසින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ‘ඒ’ ඊයේ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 202ක් රැස් කර තිබිණි. 
මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල රැස් කළ ලකුණු 332කට පිළිතුරු ලෙස ලයන්ස් පිල ලකුණු 405ක් රැස් කළේය.
ඊයේ තරගය නතර කරන විට ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 84ක් රැස් කර තිබිණි. පන්දු 118කට මුහුණු දුන් ඔහු හතරේ පහර 13ක් සහ හයේ පහරක් ඉනිමට එක්කර ගත්තේය.
පළමු ඉනිමේදී ශතකයක් රැස්කළ ලසිත් කෲස්පුල්ලේ සමඟ මධුෂ්කගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 88කට සීමා වූයේ ලසිත් ලකුණු 47කට දැවී යෑමෙනි. අනතුරුව පිටියට පිවිසි නුවනිඳු ප්‍රනාන්දුගේ ඉනිම එක් ලකුණකට සීමා වූ අතර, මුළු ලකුණු 101දී තෙවැනි කඩුල්ලට මධුෂ්ක සමඟ එක් වූ කමිඳු මෙන්ඩිස් මුළු ලකුණු සංඛ්‍යාව 201 දක්වා ඉදිරියට ගෙන ගියහ. පන්දු 76කදී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 67ක් රැස් කර සිටි කමිඳු දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය.
තෙවැනි කඩුල්ලට ලකුණු 112ක නොබිඳුණු සබඳතාවක් සමඟින් ඊයේ දිනය ඇරඹූ ජෙමී ස්මිත් (නොදැවී 86) සහ ඇලෙක්ස් ලීස්ගේ (නොදැවී 75) සබඳතාවට තවත් ලකුණු 57ක් එක්වෙද්දී දිනයේ පළමු කඩුල්ල ලෙස ලීස් පිටියෙන් ඉවත් කිරීමට ප්‍රවීන් ජයවික්‍රමට හැකි විය. ඒ වන විට ලීස් ශතකයට ලකුණු 3ක් පසුපසින් සිටියේය.

4.5 ප්‍රවීණයන්ගේ පාපන්දු තරගාවලිය හෙට සහිරා පිටියේදී

කොළඹ සහිරා විදුහල් ප්‍රවීණයන් විසින් දෙවැනි වරට සංවිධාන කරන ‘ප්‍රවීණයන්ගේ සටන 2023’ පාපන්දු තරගාවලිය හෙට (12) පෙ.ව.7.00 සිට සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ අතීත පාපන්දු දක්ෂයන්ට වටිනාකමක් එක් කිරීමේ අරමුණින් විදුහලේ 130 වැනි සංවත්සරයට සමගාමීව සංවිධාන කරන මේ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නිපෝන් පේන්ට් ලංකා සමාගම කටයුතු කරන අතර, ද ෆැසන් ස්ටෝර් ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. මේ තරගාවලියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් සහිරා විදුහල් ක්‍රීඩා පහසුකම් නංවාලීම සඳහා පරිත්‍යාග කෙරේ.
මේ තරගාලියට සහිරා විදුහල සමඟින් සාන්ත බෙනඩික්ට්, ද මැසනොද්, නාලන්දා, සාන්ත පීතර්, රාජකීය, වෙස්ලි සහ ගම්පොළ සහිරා විදුහල් කණ්ඩායම් සහභාගිවීමට නියමිතය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *