නවම් පුර පසළොස්වක පොහොය අද

අද වසරේ දෙවැනි පොහොය දිනයයි. එනම්, නවම් පුර පසළොස්වක පොහොයයි. එකී දිනය සම්මා සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් සුවිශේෂ සිදුවීම් කිහිපයක් සිදුවූ උතුම් දිනයකි.

තුන්බෑ ජටිලයන් සසුන්ගත වීමෙන් සසුනට දහසක් දෙනා එක් වූහ. සැරියුත් මුගලන් දෙනම වහන්සේ සමඟ දෙසීය පනහක් සසුන්ගත වූහ. ඒ සැම එක්දහස් දෙසීය පනහක් විය. මේ සියලු දෙනා රජගහනුවර වේළුවනාරාමයේදී බුදුන් ඉදිරියේ ඒකරාශී වීමෙන් ප්‍රථම සංඝසන්නිපාතය සිදුවිය. එම අවස්ථාවේ සුවිශේෂ තනතුරු ප්‍රදානයක් සිදු විය.

ඒ පාරමීදම් පුරාගෙන අගසවු තනතුරු ප්‍රාර්ථනා කරගෙන පැමිණි සැරියුත් මුගලන් දෙනම වහන්සේට එම තනතුරු ලැබීමයි. ඒ අද වැනි දිනකය. සුදුස්සාට සුදුසු තැන හිමිවේ. සුදුසුකම් ඇත්නම් යමක් ලැබීම කාටවත් නතර කළ නොහැකි කරුණක් බව ඉන් පැහැදිලිය. එසේම යහපත් සිතින් යමක් ප්‍රාර්ථනා කරගෙන ඒ වෙනුවෙන් කළ යුතු යමක් වෙත් නම් නිසි ලෙස කරන්නේ ද එය ඒකාන්තයෙන්ම ඉටුවන බව අගසවු දෙනම වහන්සේගේ කතා වස්තුවෙන් තවදුරටත් සනාථ වේ.

මෙම සංඝසන්නිපාතය සිදුවූ අවස්ථාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි භික්‍ෂූන් විෂයයෙහි ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම සිදු කළ සේක.

වසර හතළිස් පහක් පුරාවට පැය 02ක් පමණක් විවේක ගනිමින් දෙවියන් මිනිසුන් සහිත ලෝකයාට ධර්මය දේශනා කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියේ ද අද වැනි දිනකය. ආරාධනා ලැබුණේ නම් තවත් කාලයක් ලෝ තලයෙහි වැඩ සිටීමට අවස්ථාව තිබුණ ද අනඳ හිමියන්ට එය කිරීමට නොහැකි වීමෙන් එම අවස්ථාව මඟහැරුණි.