ජනාධිපති අනුර කුමාර රනිල් ගිය මගේ ඉදිරියටත් යන්න සූදානම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර මාර්ගගත හමුවේදී රනිල් වික්‍රමසිංහ ආරම්භ කළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට එකඟ වී තිබෙනවා.

2023 මාර්තු මාසයේදී ආරම්භ වූ මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකමට (EFF) අදාළ ගිවිසුමේ අඩක් සාර්ථකව නිම කර ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම හමුව අතරතුර, 2022 වසරේ මුහුණ දුන් ව්‍යවසනකාරී ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද අඛණ්ඩ සහාය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතවේදීත්වය පළ කර තිබුණා.

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව සවිමත් කිරීම, අවදානමට ලක් විය හැකි කණ්ඩායම්වලට සහාය වීම සහ පාලනය ශක්තිමත් කිරීම ආදී අංශවලින් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා

සාර්ව ආර්ථික ස්ථායීතාව සහතික කිරීම සහ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ තුන් වන සමාලෝචනය සම්පූර්ණ කිරීම මෙන්ම බැඳුම්කර හුවමාරුව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් ජෝර්ජිවා මහත්මිය ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක් කළා.