පොලිසිය මිහින්තලේ ආරක්ෂක කටයුතු මග හරිනවා – මිහින්තලා රාජමහා විහාරාධිපති

මිහින්තලේ පූජා භූමියට පැමිණෙන දෙස් විදෙස් ජනතාවට යම් කරදරයක් පීඩාවක් ඇතිවුවහොත් එහි සියලු වගකීම මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයා භාරගත යුතු බව සඳහන් කරමින් මිහින්තලා රාජමහා විරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් පොලිස්පතිවරයාට ලිපියක් යවා ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව විසින් මිහින්තලේ පූජා භූමිය සම්බන්ධයෙන් දක්වන්නේ කුඩම්මාගේ සැලකිලි බවත්, මිහින්තලේ පොලිසිය විසින් පූජා භූමියේ ආරක්ෂක කටයුතු මග හරිමින් සිටින බවත් එම ලිපියේ දැක්වේ.

මිහින්තලේ පූජා භූමියේ ආගමික ස්ථාන හා පුරාවිද්‍යා ස්ථානවලට මීට ඉහතදී ප්‍රමාණවත් පරිදි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණද, මේ වනවිට එම ස්ථානවලට ප්‍රමාණවත් පරිදි නිලධාරීන් යොදවා නොමැති බවත්, මේ නිසා මිහින්තලේ පූජා භූමි කලාපයේ ආරක්ෂාව අවදානම් තත්ත්වයක පවතින බවත් විහාරාධිපති හිමියන් සඳහන් කරති.

පාතාලයට සම්බන්ධ අපරාධ පවා මෙම පූජා භූමිය තුළ සිදුවෙමින් පවතින බවත්, මං පහරන්නන්, මාල කඩන්නන්, ස්ත්‍රි දූෂකයන්, මස් පිණිස සතුන් මරන්නන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ආදී බොහෝ අපරාධකරුවන්ගේ අපරාධවලට නිදහස් තෝතැන්නක් බවට මිහින්තලේ පූජා භූමිය පත්වෙමින් තිබෙන බවත් එම ලිපියේ දැක්වේ.